Pages

Thursday, November 3, 2011

ආදරණීය ටැංජි - පුංචි දග මල්ල [2 කොටස]


පසුගිය කොටසින්

"අයියෝ අංකල්අර ලේන් පැටියෙක් නේදඅර අර ගෙදර වහලේ හිරවෙලා වගේඉස්සරහා ගෙදර වහලෙයි බිත්තියයි අස්සේ හිරවෙලා හිටපු ලේන් පැටියයි , ඊටත් ටිකක් එහායින් ලේන් පැටියට කුරුමානන් අල්ලගෙන ඉන්න ලොකු  පූස් තඩියායි දැක්කම මට ඉබේටම කෑගැහුනා.

අතට අහුවෙච්ච ගලකුත් අරගත්ත මම ඉක්මනට ලේන් පැටියා හිරවෙලා හිටපු ගෙදර ලගට දුවලා ගියා, මම ලගට එනවා දැකපු පූස් තඩියා ටිකක් පසුබාලා ගියත් ඈතට වෙලා බලාගෙන හිටියේ කොයිවෙලාවක හරි ලේන් පැටිය බිම වැටුනම ගිලලාදාන්න ලෑස්තියෙන්....අතේ තිබ්බ ගලෙන් ගැහුවත් මේකා නෙමෙයි ගියේ, මොනාකරන්නද කියලා හිතාගන්න බෑ, එහෙන් ලේන් පැටියා බෙරිහන් දෙනවා, වහලෙට නගින්න විදියකුත් නෑ, ලගපාත් ගහක්වත් තාප්පයක්වත් නෑ....

ඔන්න එතකොටම අංකල් ගිහිල්ලා දිග කෝටුවක් අරගෙන ආවා...."දුව මම මේකෙන් වහලේ ෂීට් එක උස්සනං, බලමුකෝ පැටියා එතකොට ඇතුලට රිංගගනියි ආපහු
"අනේ පැටියටනං මුකුත් කරදරයක් වෙන්න එපා.....පැටියටනං මුකුත් කරදරයක් වෙන්න එපා".....මගේ හිත කොදුරනවා.

එහා ගෙදර අක්කයි බබයිත් එලියට ඇවිල්ලා මොකක්ද මේ ජරමරේ බලන්න, අංකලුත් කෝට්ට ෂීට් එකට ලංකරලා ෂීට් එක ඉස්සුවා විතරයි එකපාරට කවුරුත් නොහිතපු දෙයක් වුනේ...ඇතුලට යනවා වෙනුවට ලේන් පැටියා කලේ අනිත් පැත්තට පැනපු එකයි, තප්පරයෙන් දහයෙන් එකෙන් ලේන් පැටියා බිම..."ඔන්න ඔන්න දුව ඉක්මනට ඕකව අල්ලගන්න" අංකල් කෑගහනවා "අනේ අයියෝ' එහා ගෙදර අක්කත් කෑගහනවා, ඔය අස්සේ හරියට ඇවිදගන්නවත් බැරි පුංචිම පුංචි ලේන් පැටියා දුවන්න හදනවා පූසා ඉන්න පැත්තට...ඉක්මන් කරපු මම දුවලා ගිහින් ලේන් පැටියව අතට ගත්තා, අනේ පැටියා හොදටම බයවෙලා, වෙව්ලනවා.

ඔන්න එතකොටම "මම මේ කුස්සියේ උයනගමන් හිටියේ" කියාගෙන ගෙදර ඇන්ටිත් එලියට ආවා...අයියෝ ඇන්ටි ඔයා එනකොට ඔක්කොම වෙලා ඉවරයි කියලා මම අතේ ගුලිවෙලා ඉන්න ලේන් පැටියා ඇන්ටිට පෙන්නුවා. "අනේ දුකේ බෑ"!!!   අතේ ගුලිවෙලා ඉන්න ලේන්පැටියා දැක්කම ඇන්ටිට කියවුනාමෙයාව වහලෙන් තියන්නත් බෑ පූසා අල්ලයි, වහලේ ඇතුලට ආපහු දාන්න විදියකුත් නෑ ඔක්කොමත් තියා වහලෙට නැගගන්නත් බෑ දැන් අපි මොකද කරන්නේ අංකල් මගෙන් ඇහුවා.... "මම දන්න ලමයෙක් ඉන්නවා එයා හරි ආසයි සත්තු ඇති කරන්න,මම එයාට එන්න කියන්නන්කෝ මේ පැටියව අරගෙන යන්න" ඇන්ටි විසදුමක් දුන්නා.

හා එහෙනන් මම මෙයාව එතකන් තියාගන්නන්කෝ, ලේන් පැටියවත් තුරුලුකරගෙන මම ආපහු ගෙදරට ආවා "අනේ අනේ ඔයාටත් වෙන වැඩ" අපේ ඇන්ටි හිනාවෙනවා.

ලේන් පැටියගේ වෙව්ලිල්ලනං දැන් හොදටම අඩුවෙලා, උඩට ආපු මම පරණ ටීෂර්ට් එකක් අරගෙන ඒකෙන් පැටියව එතුවා, ටික වෙලාවකින් අංකල් කිරි කෝප්පෙකුත් අරගෙන උඩට ආවා "ඉවර වෙච්ච පෑන් බටයක් තියෙනවනං ගන්නකෝ දුව මෙයාට අපි කිරිටිකක් දීලා බලමුකෝ" කිරිවල ඉව දැනුන පැටියා පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා, බටේ කටලගට ලංකලාම කිරි ටිකකුත් බිව්වා. ආහ් හොදයි හොදයි මෙයා කිරි බොනවනේ, එහෙනං කරදරයක් නෑ අංකල් කියුවා. ටිකවෙලාවක් ගියාම පැටියගේ කිසිම හැලහොල්මනක් නැතිනිසා මම පොඩ්ඩක් රෙද්ද උස්සලා බැලුවා "අනේ" මෙයා ගුලිවෙලා හොදටම නිදි

විභාගෙත් අතලග, මේ පහුවෙන්නේ විභගෙට පාඩන් කරන්න කියලා දීපු නිවාඩු දවස්, අද දවසෙම වැඩක් කරන්න බැරි වෙච්ච නිසා ලේන් පැටියවත් අතේ තියාගෙනම මම පොතක් පෙරලගත්තා පාඩම් කරන්න හිතාගෙන, මෙන්න එකපාරටම මට උදේ ඇහිච්ච අර කෑගහන සද්දේ ආපහු ඇහෙනවා; සද්දේ විදියටනං ලේන් පැටියෙක්ගේ වගේ සද්දෙට නිදාගෙන හිටපු පැටියත් නැගිටලා. මම ඉක්මනට ආපහු එලියට දිවුවා අර කෑගහන සද්දෙත් එකපාරටම නැවතුනා. එහා ගෙදර අක්කත් ආපහු එලියට ඇවිල්ලා, මාව දැකපුගමන් "අනේ නංගි තව ලේන් පැටියෙක් වහලෙන් එලියට ආවා, එයාව නං ආපු ගමන්ම පූසා අල්ලගත්තානේ, අනේ පවු අපි ගල් ගැහුවට වැඩක් වුනේ නෑ පූසා පැටියව අරගෙනමයි දිවුවේ දැනටමත් එක කටටම ගිලලා ඇති...මෙයාගෙනං වාසනාව ඔයාගේ අතටම ආවනේ" මගේ අතේ ගුලිවෙලා ඉන්න පැටියාදිහා බලාගෙන අක්කා කියුවා.

මගේ හිතට ඇතිවුනේ පුදුමාකාර දුකක්, අනේ මට ඒ පැටියවත් බේරගන්න තිබ්බනං....ඒත් ඉතිං දැන් මොනා කරන්නද? ජීවිතයත් ඉතිං තණ අගරැදි පිණිබිදුවක් වගේ කියලා කියන්නේ නිකමටයැ...ලේන් පැටියව අතේ ගුලිකරගෙන මම හිමින් හිමින් ආපහු මගේ කාමරේට ගියා, වෙච්ච කිසිම දෙයක් දන්නේ නෑ වගේ මෙයා නං හොදට නිදි, මට දැන්නං මෙලෝදෙයක් පාඩන් කරන්න හිතෙන්නේත් නෑ අම්මට කෝල් එකක් දීලා විස්තරේ කියනවා කියලා හිතාගෙන ඔන්න අම්මට කෝල් එක අරගෙන විස්තරේ කියන්න පටන්ගත්තා විතරයි මෙන්න අම්මා ඒපාර පටන්ගත්තා මට බණින්න "ඔය සත්තු ලග තියාගෙන ලෙඩ හදාගන්නද හදන්නේ, ඔන්න ඕකව කොහෙන්හරි තියලා එන්න" අලි මදිවට කොටි ඔන්න ඒපාර, මමත් ඉතින් හා කියලා කෝල් එක කට් කලාමදැයි හිත හදාගන්න කියලා අම්මට කෝල් කලා.
 . 
මෙන්න එතකොටම ඇන්ටි ආවා හිස් කාඩ්බෝඩ් පෙට්ටියකුයි රෙදිකෑලි ටිකකුයි අරගෙන "පුතා මෙන්න මේකේ තියන්නකෝ ඔය පැටියව"...අතේ හොදට නිදාගෙන හිටපු පැටියව මම හිමින් සැරේ පෙට්ටිය ඇතුලෙන් තිබ්බා

පෙට්ටිය ඇතුලෙන් තියලා විනාඩි පහක්වත් ගියේ නෑ මෙන්න මෙයා නැගිටලා දගලනවා, "මෙයා තාම අම්මගේ උණුසුමට හුරු ඇති, ඔයාගේ අතේ රස්නෙට වෙන්න ඇති නින්ද යන්න ඇත්තේ" ඇන්ටි කියුවා. මම ආපහු පැටියව අතට අරගත්තා විනාඩියක්වත් ගියේ නෑ මෙයා මගේ අතේ ගුලිවෙලා හොදට නිදි.

එදා දවසම මම බලාගෙන හිටියේ කවුරුහරි ලේනෙක් ඇවිත් පැටියව හොයයිද කියලා, මගේ බලාපොරොත්තු කඩකරමින් එදා හවස් වෙනකන්ම කිසිම ලේනෙක් පැත්තේ ඉන්නවා මම දැක්කේ නෑ... 
තමන්ගේ පැටවු නෑ කියලා දැනගත්තම ලේන් අම්මට මොනා හිතෙයිද කියලා නොහිතන්න මම උත්සහ කලා, ඒත් මගේ අතේ ගුලි වෙලා නිදාගෙන ඉන්න පැටියව දැක්කම මගේ හිතට දුකක් එක්ක පුදුමාකාර නොසන්සුන්කමක් ඇති වුනේ.

"අනේ මංජි මෙයාව කාටවත් දෙන්න එපා මෙයාව අපි තියාගමු, ඔය මාලනී ඇන්ටි කියන ලමය මෙයාව කොහොම බලාගනිද කියලා කවුද දන්නේ? අනික මෙයාගෙන් කරදරයකුත් නෑනේ ඔය නිදාගන්න එකනේ පැත්තකට වෙලා අනේ පවු මේ පැටියා" යාලුවන්ගෙන් අදහස් ගොඩයි.

ඔන්න එදා ඉදන් මේ පුංචි ලේන් පැටියා අපේ බෝඩිමේ  නිත්‍ය නේවාසිකයෙක් වුනා, මම පැටියගේ අම්මා වුනා වගේම මගේ යාලුවෝ ටික පැටියගේ නැන්දලා, පුංචිලා ටික වුනා....එදා රෑම පැටියට සදා නැන්දාගෙන් කිරි බෝතලයකුත් හම්බ වුනා, කිසිම කරදරයක් නෑ කිරිටික හදලා බෝතලේට දාලා දුන්නම අත් දෙකෙන්ම අල්ලගෙන බීගෙන බීගෙන යනවා ඊට පස්සේ කොහොමහරි මගේ බෙල්ල ලගට නැගලා හොදට ගුලිවෙලා නිදාගන්නවා.

කොහමින් කොහොමහරි පැටියට අන්තිමට නමක් දාන්න කට්ටියම කතා වුනා.... අනුලා, කාජල්, මධුරි, ජාවා, C, ඇණේ ඔය වගේ අපේ කට්ටියගේ ඉතාමත් උසස් අදහස් අතරේ ගයාන් කියුවා ඔයා මංජිනේ අපි ඒකනිසා මෙයාට ටැංජි කියමු කියලා ඔන්න එදා ඉදලා මගේ පුංචි පැටියා ටැංජි නමින් අභිෂේක වුනා.

දවසේ පැය විසිහතරෙන් පැය තුනක්ම නිදාගන්න ටැංජියා ඉතුරු පැයේ නැගිටලා ඉන්නේ හදලා දෙන කිරිටික බොන්න. අපි කවුරුවත් නැත්තන් මේ පුංචි දගමල්ල පෙට්ටිය ඇතුලට වෙලා හොදට නිදාගන්නවා, හැබැයි මම බෝඩිමේ ඉන්නවා කියලා දැනගත්තොත්නං මම අතට ගන්නකන් පෙට්ටිය ඇතුලට වෙලා දගලනවා.

ඔන්න එකදවසක් අපි ඔක්කොම කැම්පස් ගියා, ටැංජියා පෙට්ටිය ඇතුලේ නිදි....කැම්පස් එකේ කුප්පියකට එහෙම සහභාගි වෙලා එනකොට ටිකක් වෙලා ගියා, මම ආපු ගමන් කලේ ටැංජියව අතට ගන්න පෙට්ටිය ඇතුලේ බලපු එක, මම දැකපු දෙයින් එක පාරටම ගැස්සිලා ගියා...


                                                                මතු සම්බන්ධයි !!!

Saturday, October 22, 2011

සරසවි ජීවිතය....




පැය හයක් හතක් විතර බස් එකේ එනකොට සමහර වෙලාවට මට හිතෙනවා ඇයි මම මෙච්චර දුර විශ්ව විද්‍යාලයකට ආවේ කියලා, ඒත් හපුතලේ, බණ්ඩාරවෙල පහුකරගෙන ගමනාන්තයට ලගාවෙනකොට හිතට පුංචි සන්තෝසයක් දැනෙනවා එක අතකින් බලනකොට මම කොච්චර වාසනාවන්තද කියලා; මීදුමෙන් වැහිච්ච කදුවැටි,ගහ කොල වලින් පිරුන අමුතු සීතලක් දැනෙන පුදුමාකාර ලස්සන පරිසරයක මගේම කියන්න පුලුවන් හිත හොද යාලුවෝ ටිකක් එක්ක ඉන්න ලැබෙන එක ඇත්තටම සුන්දර අත්දැකීමක්.

අපි මුලින්ම කැම්පස් ආපු දවස් වල ඉතින් අපේ අයවත් අදුරන්නේ නෑනේ, ඉහල වසරවල්වල සහෝදර සහෝදරයින්ගෙන්රැවුම් ගෙරවුම් එහෙම නැතුවමත් නෙමෙයි, හැබැයි මේ ඔක්කොටම හරියන්නත් එක්ක ආපු දවසෙම අහම්බෙන් වගේ යාලුවෝ හය දෙනක් හම්බ උනා - දැන අදුරගෙන අවුරුදු තුනක් ගෙවුනත් පණ වුනත් දෙන්න තරමට මාත් එක්ක තාම ලගින්ම ඉන්නේ ටිකම තමයි; පස්සේ කාලයක් යනකොට බොහොමයක් අය අපිත් එක්ක සුහද වුනා දැන අදුර ගත්තා, අන්න එතකොට තමයි තේරුනේ සරසවියක් කියන්නේ පවුලක් වගේම දෙයක් කියලා...උදවු කරන්න අය ගොඩයි, උදවු ගන්න අය ගොඩයි, දුක සැප බෙදා හදා ගන්න අය ගොඩයි.


කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ නං ඉතින් බොහොම සැපට හිටියා, මගේ නැන්දලාගේ වචන වලින් කියනවා නංරැජිනියෝ වගේ...මොකද පලවෙනි වසරේ අපිට කැම්පස් එක ඇතුලෙම නේවාසිකාගාර  ලැබුනා; උදේ අටේ දේශනය යන්නත් නැගිටින්නේ හත හමාරට විතර, අලුතෙන්ම හදපු නේවාසිකාගාර හරියට නිකං තරු හතේ හෝටලයක් වගේ, අපිව බලාගන්න හිටපු කෙයාර් ටේකර් ඇන්ටිලත් හරිම හොදයි; හැබැයි අපේ අයත් ඉතිං තමන්ගේ දෙයක් වගේ මේ හැම දෙයක්ම අනාගත පරපුරටත්  ලබාගන්න පුලුවන් විදියට ගොඩක් හොදට පරිහරනය කලා.... වුනාට දැන් අලුතින් සරසවියට ආපු සමහර අයට නං ගැන කිසිම හැගීමක් නෑ කියලත් මට හිතුනේ, එක දවසක් එක  ශිෂ්‍යයෙක් ඊට ටිකක් එහායි කුණු දාන්න භාජනයක් තිබුනත් ටොෆියක් කාලා එතනම බිමට කොලේ දානවා දැකලා...අපේ දේවල්රැක ගන්න අපි දැනගන්න ඕනි ඒක කවුරුත් කාටවත් කියලා දෙන්න දෙයක් නෑ, ඇගෙන්ම එන්න ඕනි දෙයක් කියලයි මගේ හැගීම නං.

මේ හැම දෙයක් එක්කම මට සතුටක් ලබා දුන්න දෙයක් තමයි මගේ විශ්ව  විද්‍යාලය ගැන අනිත් අයට විස්තර කරන එක, ඒකට හේතුව තමයි අපේ විශ්ව  විද්‍යාලය මෑතකදී ආරම්භ කරන ලද එකක් වීම...ඉතින් මගේ විශ්ව  විද්‍යාලය තියෙන්නේ බදුල්ලේ කියනකොට හැමෝම හිතුවේ " ආහ් ඔය සබරගමු කැම්පස් එක නේද කියලා"...මමත් ඉතිං අනේ නෑ කියලා මුල ඉදන් අගටම කැම්පස් එක ගැන හොද විස්තරයක් දෙනවා, දැන් නං ඉතින් කියන්න කරදරයක් නෑ  අපේ සහෝදර සිසු සිසුවියන්ගේ හැකියාවන්ජයග්‍රහණ ආදී දේවල් නිසා බොහෝදෙනක් අපේ විශ්ව විද්‍යාලය ගැන දන්නවා.

සරසවි ජීවිතේ අමතක නොවෙන තවත් දෙයක් තමයි "පාදාංකරය"නමින් දෙවන වසරේදි අපි පවත්වන්නට යෙදුනු ප්‍රදර්ශනය.දේශන,විභාග එක්ක ප්‍රදර්ශන වැඩ සංවිධානය කරන්න දවසේ පැය විසිහතරත් මදි වුනා..."හිත ඇත්නම් පත කුඩාද" කියලා අපි එකතුවෙලා කොහොමහරි වැඩ ටික ඉවරකරගත්තා වගේම අපේ මහන්සියේ ප්‍රතිඵලත් සියැසින්ම අපි දැක ගත්තා,ඒ ප්‍රදර්ශනය නරඔන්න ආපු මහා ජන ගංගාවයි,ලැබුනු ප්‍රතිචාර වලිනුයි.

මගේ සරසවි ජීවිතේ අවුරුදු තුනක් මටත් නොදැනීම විවිධාකාර අත්දැකීම් මැද ගෙවිලා ගියා, හැම දේකින්ම මම මගේ ජීවිතේට  කොයිතරං නම් දේවල් එකතු කර ගත්තද... ගෙදර, මට ආදරය කරන අයගේ වටිනාකම; මගේ අම්මගේ, අප්පච්චිගේ, නංගිගේ ආදරය; කෙනෙක්ගේ ජීවිතයකට යාලුවෙක්ගේ තියෙන වටිනාකම විතරක්ම නෙමෙයි මම මගේ වටිනාකමත් තේරුම් ගත්තේ මගේ සරසවි දිවියට ස්තුති වෙන්න…මේ හැමදෙයක් එක්කම මට දැන් ලංකාවේ ඕනෙම තැනක යාලුවෙක් කියන්න පුලුවන් කවුරුහරි කෙනෙක් ඉන්නවා, ඒක ඇත්තටම හිතට ලොකු ශක්තියක් ඇතිකරනවා වගේම ඒ හැගීමම ඇති කෙනෙක්ට හිතට සතුටක් ලබාදෙන්න.


ඇත්තටම සරසවි ජීවිතය කියන්නේ පුදුමාකාරම සංස්කෘතියක්,ඒක තෙරුම් ගන්න නං සරසවි ජීවිතයක් ලබන්නම ඕනි...මොකද ඔය කැම්පස් වැඩක් නෑ,කැම්පස් නං අන්තිමයි ඒ ළමයිනුත් අන්තිමයි කියලා බනින අය කවදාවත් සරසවි අභිෂේකයක් ලබපු අය නෙමෙයි අනික සරසවි අධ්‍යාපනය ලබපු කිසිම කෙනෙක් මේ සංස්කෘතියට බනිනවා මම කවදාවත් අහලා නෑ,හේතුව එයාලා ඒකේ වටිනාකම දන්න නිසා.

දැන් මම මගේ සරසවි ජීවිතේ අවසාන වසරට ඇවිත් ඉන්නේ, අපිට ඉහල වසරේ සහෝදර සහෝදරියෝ සරසවියෙන් සමුගෙන යනවා දැක්කම හිතට පුංචි වේදනාවකුත් දැනෙනවා අපිත් ඉක්මනටම මේ විදියට යන්න යයි නේද කියලා... වුනාට ආරම්භයක් ඇත්නම් අවසානයකුත් ඇත කියලා කතාවකුත් තියෙනවනේ..! 

මේ ඔක්කොමත් එක්ක මට මං ගැනම පුංචි අහිංසක ආඩම්බරයක් ඇතිවෙනවා මොකද මම ලංකාවේ සාඩම්බර අතීතයකට උරුමකම් කියන සුන්දර ඌව වෙල්ලස්සේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිසා...





Tuesday, October 18, 2011

ආදරණීය ටැංජි - පුංචි දග මල්ල [ 1 කොටස ]


"මංජි මංජි ඉක්මනට උඩට එන්නකෝ" උදේ පාන්දරම මධු කෑගහන සද්දෙන් මට ඇහැරුනා “ඇයි ඇයි මොකක්ද වෙලා තියෙන්නේ” ඉක්මනට ඇදෙන් බැස්ස මම අනිත් අයවත් ඇදගෙනම උඩට ගියා බලන්න... උඩට යනකොටම බිම කුරුල්ලෙක් වැටිලා හිටියා, අනේ මේ මයිනෙක් නේද"...හෙල්ලෙන්නේවත් නැතුව බිම හිටපු කුරුල්ලව මම අතට ගත්තා...අයියෝ මෙයා මැරිලානේ, අනේ පවු… අපි අංකල්ට කියමුකෝ කෝකටත්.

"අනේ අංකල් මේ බලන්නකෝ මෙයා උඩ වැටිලා හිටියනේ"
"කෝ බලන්න, අංකල් කුරුල්ලව අතට ගත්තා "ලෙඩක්වත් හැදිලා වෙන්න ඇති" අපේ සද්දෙ ඇහිලා එලියට ආපු ඇන්ටි කියුවා

දැන් ඉතින් මොනා කරන්නද? මම මෙයාව කොහේ හරි වලලන්නන්කෝ, අංකල් කියුවා… අපි කට්ටිය ආපහු  ආවා, විභාගේ ලග නිසා පාඩම් කරන්නත් ඕනිනේ

මොකක්ද සද්දේ?? පඩිපෙල බාගයක් නගිද්දි ඇහුන සද්දෙන් මම ගල් ගැහුනා, "හරියට නිකන් කවුරු හරි කෙනෙක් වේදනාවෙන් කෑගහනවා වගේ"...ඔයාල යන්නකෝ මම සද්දේ මොකක්ද කියලා බලලා එන්නං, අංකල් අංකල් මොකක්ද සද්දේ?? පඩිපෙල ආපහු බහින ගමන් මම අංකල්ගෙන් ඇහුවා..."ඒක තමයි මාත් මේ බැලුවේ, අඹ ගහෙන් වගේ එන්නේ" ඉතිං අංකලුයි මමයි එලියට බැහැලා ගහේ හැම තැනම බැලුවා, මුකුත්ම නෑ...ඒත් කෑගැහිල්ල නං තාමත් ඇහෙනවා

මම පොඩ්ඩක් සද්දෙ එන දිහාට ඇවිදගෙන ගියා....ඔන්න එතකොට තමයි මම දැක්කේ "අයියෝ අංකල්, අර ලේන් පැටියෙක් නේද? අර අර ගෙදර වහලේ හිරවෙලා වගේ" ඉස්සරහා ගෙදර වහලෙයි බිත්තියයි අස්සේ හිරවෙලා හිටපු ලේන් පැටියයි , ඊටත් ටිකක් එහායින් ලේන් පැටියට කුරුමානන් අල්ලගෙන ඉන්න ලොකු පූස් තඩියායි දැක්කම මට ඉබේටම කෑගැහුනා.




                                                                 මතු සම්බන්ධයි !!!

Wednesday, October 5, 2011

මගේ ගම...




මම පුංචි කාලේ, ඒ කියන්නේ ඔය ගොඩක් දේවල් නොතේරෙන, ටිකක් දේවල් තේරෙන කාලේ පොඩි නිවාඩුවක් එහෙම ආවම අපි යනවා අපේ අම්මලගේ ගමේ. කුඹුරු, ගස් වැල් වගේම යාලුවෝ ගොඩක් හිටිය නිසා මම ඒ දවස් වල ඉන්නේ ඇගිලි ගැන ගැන ඉන්නෙ ගමේ යන්න දවසක් එනකන්...අපේ ගමේ ඒ දවස් වල  තිබ්බා ලොකුම ලොකු දං කැලයක්, මහගෙදර වටෙටම ජම්බු, රඹුටන්, අඹ, නාරං, කජු ගස් පිරිලා  ඒ වගේම එහෙ තිබ්බා නාන ලිදක් ඔය අපි ඔය දැන් නාන ටැප් වතුර වගේ නෙමේ මේ ලිදේ  වතුර ටිකකින් නා ගත්තම ඇඟට දැනෙන්නේ පුදුම සනීපයක් .

අපේ ගමේ ගෙදර කට්ටිය ගොඩයි, කරන්න දේවල් ගොඩයි, බලන්න දේවල් ගොඩයි, ඒ වගේම එහෙ මට කියාගන්න තේරෙන්නේ නැති ඒත් ඇඟට දැනෙන සතුටින් පිරිච්ච මහ අමුතු ජීවයක් පිරිල තිබ්බා...

මහගෙදරට ගිහිල්ලා වෑන් එකෙන් බහිනකොටම එන්නේ ආච්චියි, ආතයි අපිව පිලිගන්න, එයාල ලගින් එන ඒ සුවදයි ගමේ සුවදයි මටනං නිකන් තාමත් දැනෙනව වගේ....

නංගියි මමයි ගමේ යන්න වාහනේට නැග්ගම බහින්නේ කොයි වෙලාවෙද කියල බලාගෙන ඉන්නේ - වාහනෙන් බැස්ස ගමන් අයියයි, අක්කලයි, මල්ලිලයි එක්ක එකතු වෙලා මුලු ගම වටේම ඇවිදල තමයි එන්නේ,ඔන්න ටිකක් පරක්කු වෙනකොට නැන්දා කෑගහනව "ළමයි කන්න එන්න කියල"...ගස් උඩ නැගල, ඇලේ නටල, වැටිලා, අතපය එහෙම හූරගෙන තමයි ඉතින් ගෙට ගොඩ වෙන්නේ ඒත් ඉතින් අපිට මොන බඩගින්නක්ද ගස් වල තියෙන ගෙඩි ජාති කාල කාල බඩේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ,ඒ උනාට ආච්චියි නැන්දලයි එකතුවෙලා උයන රස කෑම නොකා ඉන්නේ කොහොමද??? පෙරේතකමට ඒවත් කොහොමහරි කනවා.    

මට මතකයි එක දවසක් අපේ මාමා මාව හොඳට නාවන්න ඔනේ කියල විහිළුවට අත්දෙකෙන් අල්ලගෙන ලිඳට දැම්මා - මම ඒ වෙලාවේ බය උනාට මාමා නැන්දගෙන් බැනුම් අහපු හැටි මතක් වෙනකොටනන් මට තාමත් හිනා යනවා...

රෑට නිදාගන්න යනකොට නරියෝ කෑගහන සද්දෙ ඇහෙනව, ඉතිං මාමා කරන්නේ අපි ඔක්කොම වට කරගෙන හොල්මන් කතා කියන එක...ඒ කතාවලට බයේ ගුලි වෙලා නිදාගත්තම ආපහු ඇහැරෙන්නේ උදේට කුරුල්ලෝ කෑගහන සද්දෙන්. 

මේ ඔක්කොටමත් එක්ක හරියන හොඳම වැඩේ තමයි ගමේ  පන්සල, මම පොඩි කාලේ ඉදල ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ මාව දන්නව අනික ඉතින් අපිට මේ ගමේ පන්සලට යන්න හම්බවෙන්නෙත් කලාතුරකින්නේ, එහෙම ගියාම ඉතින් ලොකු හාමුදුරුවන්ගෙන් මට තෑගි භෝග එහෙම මහ ගොඩයි. 



ඒ කාලේ අපි තරගෙට දං ගෙඩි කඩාගෙන කාපු හැටි, ඇලවල් වල නටපු හැටි, ඇලදිගේ කඩදාසි බෝට්ටු යවපු හැටි, ගොයම් පිරිච්ච කුඹුරු දිගේ ඇවිදගෙන ගිය හැටි මතක් වෙනකොට මටත් කොච්චර ලස්සන ලමා කාලයක් තිබුනද කියල හිතෙනව  


ඒත් මම මෙච්චර ආදරේ කරපු ගම දැන් ගොඩක් වෙනස් වෙලා, ආච්චි අපිව දාල ගියා, අයියලා අක්කලා ලොකු වෙලා රැකියාවන් දරුමල්ලෝ එක්ක කාර්ය බහුල වෙලා. 

අපි සෙල්ලම් කරපු දං කැලේ කපලා ඒ ඉඩම් කට්ටි කරලා විකුනලා, ඇලට කුනු දාල, කුඹුරු ගොඩ කරලා, ඉතුරු කුඹුරු පුරන් වෙලා, රෑට ඇහුන නරියන්ගේ සද්දෙත් නෑ, ගමේ ගියා කියලා දැන් ඇවිදින්න තැනකුත් නෑ... 


ඒ දවස් වල මට ගමට ගියාම දැනුන ගමේ තිබ්බ ඒ සුවඳ, සුලඟ, සතුට, ජීවය මටත් නොකියාම යන්න ගිහිල්ලා !!!