Pages

Saturday, October 22, 2011

සරසවි ජීවිතය....




පැය හයක් හතක් විතර බස් එකේ එනකොට සමහර වෙලාවට මට හිතෙනවා ඇයි මම මෙච්චර දුර විශ්ව විද්‍යාලයකට ආවේ කියලා, ඒත් හපුතලේ, බණ්ඩාරවෙල පහුකරගෙන ගමනාන්තයට ලගාවෙනකොට හිතට පුංචි සන්තෝසයක් දැනෙනවා එක අතකින් බලනකොට මම කොච්චර වාසනාවන්තද කියලා; මීදුමෙන් වැහිච්ච කදුවැටි,ගහ කොල වලින් පිරුන අමුතු සීතලක් දැනෙන පුදුමාකාර ලස්සන පරිසරයක මගේම කියන්න පුලුවන් හිත හොද යාලුවෝ ටිකක් එක්ක ඉන්න ලැබෙන එක ඇත්තටම සුන්දර අත්දැකීමක්.

අපි මුලින්ම කැම්පස් ආපු දවස් වල ඉතින් අපේ අයවත් අදුරන්නේ නෑනේ, ඉහල වසරවල්වල සහෝදර සහෝදරයින්ගෙන්රැවුම් ගෙරවුම් එහෙම නැතුවමත් නෙමෙයි, හැබැයි මේ ඔක්කොටම හරියන්නත් එක්ක ආපු දවසෙම අහම්බෙන් වගේ යාලුවෝ හය දෙනක් හම්බ උනා - දැන අදුරගෙන අවුරුදු තුනක් ගෙවුනත් පණ වුනත් දෙන්න තරමට මාත් එක්ක තාම ලගින්ම ඉන්නේ ටිකම තමයි; පස්සේ කාලයක් යනකොට බොහොමයක් අය අපිත් එක්ක සුහද වුනා දැන අදුර ගත්තා, අන්න එතකොට තමයි තේරුනේ සරසවියක් කියන්නේ පවුලක් වගේම දෙයක් කියලා...උදවු කරන්න අය ගොඩයි, උදවු ගන්න අය ගොඩයි, දුක සැප බෙදා හදා ගන්න අය ගොඩයි.


කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ නං ඉතින් බොහොම සැපට හිටියා, මගේ නැන්දලාගේ වචන වලින් කියනවා නංරැජිනියෝ වගේ...මොකද පලවෙනි වසරේ අපිට කැම්පස් එක ඇතුලෙම නේවාසිකාගාර  ලැබුනා; උදේ අටේ දේශනය යන්නත් නැගිටින්නේ හත හමාරට විතර, අලුතෙන්ම හදපු නේවාසිකාගාර හරියට නිකං තරු හතේ හෝටලයක් වගේ, අපිව බලාගන්න හිටපු කෙයාර් ටේකර් ඇන්ටිලත් හරිම හොදයි; හැබැයි අපේ අයත් ඉතිං තමන්ගේ දෙයක් වගේ මේ හැම දෙයක්ම අනාගත පරපුරටත්  ලබාගන්න පුලුවන් විදියට ගොඩක් හොදට පරිහරනය කලා.... වුනාට දැන් අලුතින් සරසවියට ආපු සමහර අයට නං ගැන කිසිම හැගීමක් නෑ කියලත් මට හිතුනේ, එක දවසක් එක  ශිෂ්‍යයෙක් ඊට ටිකක් එහායි කුණු දාන්න භාජනයක් තිබුනත් ටොෆියක් කාලා එතනම බිමට කොලේ දානවා දැකලා...අපේ දේවල්රැක ගන්න අපි දැනගන්න ඕනි ඒක කවුරුත් කාටවත් කියලා දෙන්න දෙයක් නෑ, ඇගෙන්ම එන්න ඕනි දෙයක් කියලයි මගේ හැගීම නං.

මේ හැම දෙයක් එක්කම මට සතුටක් ලබා දුන්න දෙයක් තමයි මගේ විශ්ව  විද්‍යාලය ගැන අනිත් අයට විස්තර කරන එක, ඒකට හේතුව තමයි අපේ විශ්ව  විද්‍යාලය මෑතකදී ආරම්භ කරන ලද එකක් වීම...ඉතින් මගේ විශ්ව  විද්‍යාලය තියෙන්නේ බදුල්ලේ කියනකොට හැමෝම හිතුවේ " ආහ් ඔය සබරගමු කැම්පස් එක නේද කියලා"...මමත් ඉතිං අනේ නෑ කියලා මුල ඉදන් අගටම කැම්පස් එක ගැන හොද විස්තරයක් දෙනවා, දැන් නං ඉතින් කියන්න කරදරයක් නෑ  අපේ සහෝදර සිසු සිසුවියන්ගේ හැකියාවන්ජයග්‍රහණ ආදී දේවල් නිසා බොහෝදෙනක් අපේ විශ්ව විද්‍යාලය ගැන දන්නවා.

සරසවි ජීවිතේ අමතක නොවෙන තවත් දෙයක් තමයි "පාදාංකරය"නමින් දෙවන වසරේදි අපි පවත්වන්නට යෙදුනු ප්‍රදර්ශනය.දේශන,විභාග එක්ක ප්‍රදර්ශන වැඩ සංවිධානය කරන්න දවසේ පැය විසිහතරත් මදි වුනා..."හිත ඇත්නම් පත කුඩාද" කියලා අපි එකතුවෙලා කොහොමහරි වැඩ ටික ඉවරකරගත්තා වගේම අපේ මහන්සියේ ප්‍රතිඵලත් සියැසින්ම අපි දැක ගත්තා,ඒ ප්‍රදර්ශනය නරඔන්න ආපු මහා ජන ගංගාවයි,ලැබුනු ප්‍රතිචාර වලිනුයි.

මගේ සරසවි ජීවිතේ අවුරුදු තුනක් මටත් නොදැනීම විවිධාකාර අත්දැකීම් මැද ගෙවිලා ගියා, හැම දේකින්ම මම මගේ ජීවිතේට  කොයිතරං නම් දේවල් එකතු කර ගත්තද... ගෙදර, මට ආදරය කරන අයගේ වටිනාකම; මගේ අම්මගේ, අප්පච්චිගේ, නංගිගේ ආදරය; කෙනෙක්ගේ ජීවිතයකට යාලුවෙක්ගේ තියෙන වටිනාකම විතරක්ම නෙමෙයි මම මගේ වටිනාකමත් තේරුම් ගත්තේ මගේ සරසවි දිවියට ස්තුති වෙන්න…මේ හැමදෙයක් එක්කම මට දැන් ලංකාවේ ඕනෙම තැනක යාලුවෙක් කියන්න පුලුවන් කවුරුහරි කෙනෙක් ඉන්නවා, ඒක ඇත්තටම හිතට ලොකු ශක්තියක් ඇතිකරනවා වගේම ඒ හැගීමම ඇති කෙනෙක්ට හිතට සතුටක් ලබාදෙන්න.


ඇත්තටම සරසවි ජීවිතය කියන්නේ පුදුමාකාරම සංස්කෘතියක්,ඒක තෙරුම් ගන්න නං සරසවි ජීවිතයක් ලබන්නම ඕනි...මොකද ඔය කැම්පස් වැඩක් නෑ,කැම්පස් නං අන්තිමයි ඒ ළමයිනුත් අන්තිමයි කියලා බනින අය කවදාවත් සරසවි අභිෂේකයක් ලබපු අය නෙමෙයි අනික සරසවි අධ්‍යාපනය ලබපු කිසිම කෙනෙක් මේ සංස්කෘතියට බනිනවා මම කවදාවත් අහලා නෑ,හේතුව එයාලා ඒකේ වටිනාකම දන්න නිසා.

දැන් මම මගේ සරසවි ජීවිතේ අවසාන වසරට ඇවිත් ඉන්නේ, අපිට ඉහල වසරේ සහෝදර සහෝදරියෝ සරසවියෙන් සමුගෙන යනවා දැක්කම හිතට පුංචි වේදනාවකුත් දැනෙනවා අපිත් ඉක්මනටම මේ විදියට යන්න යයි නේද කියලා... වුනාට ආරම්භයක් ඇත්නම් අවසානයකුත් ඇත කියලා කතාවකුත් තියෙනවනේ..! 

මේ ඔක්කොමත් එක්ක මට මං ගැනම පුංචි අහිංසක ආඩම්බරයක් ඇතිවෙනවා මොකද මම ලංකාවේ සාඩම්බර අතීතයකට උරුමකම් කියන සුන්දර ඌව වෙල්ලස්සේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිසා...





Tuesday, October 18, 2011

ආදරණීය ටැංජි - පුංචි දග මල්ල [ 1 කොටස ]


"මංජි මංජි ඉක්මනට උඩට එන්නකෝ" උදේ පාන්දරම මධු කෑගහන සද්දෙන් මට ඇහැරුනා “ඇයි ඇයි මොකක්ද වෙලා තියෙන්නේ” ඉක්මනට ඇදෙන් බැස්ස මම අනිත් අයවත් ඇදගෙනම උඩට ගියා බලන්න... උඩට යනකොටම බිම කුරුල්ලෙක් වැටිලා හිටියා, අනේ මේ මයිනෙක් නේද"...හෙල්ලෙන්නේවත් නැතුව බිම හිටපු කුරුල්ලව මම අතට ගත්තා...අයියෝ මෙයා මැරිලානේ, අනේ පවු… අපි අංකල්ට කියමුකෝ කෝකටත්.

"අනේ අංකල් මේ බලන්නකෝ මෙයා උඩ වැටිලා හිටියනේ"
"කෝ බලන්න, අංකල් කුරුල්ලව අතට ගත්තා "ලෙඩක්වත් හැදිලා වෙන්න ඇති" අපේ සද්දෙ ඇහිලා එලියට ආපු ඇන්ටි කියුවා

දැන් ඉතින් මොනා කරන්නද? මම මෙයාව කොහේ හරි වලලන්නන්කෝ, අංකල් කියුවා… අපි කට්ටිය ආපහු  ආවා, විභාගේ ලග නිසා පාඩම් කරන්නත් ඕනිනේ

මොකක්ද සද්දේ?? පඩිපෙල බාගයක් නගිද්දි ඇහුන සද්දෙන් මම ගල් ගැහුනා, "හරියට නිකන් කවුරු හරි කෙනෙක් වේදනාවෙන් කෑගහනවා වගේ"...ඔයාල යන්නකෝ මම සද්දේ මොකක්ද කියලා බලලා එන්නං, අංකල් අංකල් මොකක්ද සද්දේ?? පඩිපෙල ආපහු බහින ගමන් මම අංකල්ගෙන් ඇහුවා..."ඒක තමයි මාත් මේ බැලුවේ, අඹ ගහෙන් වගේ එන්නේ" ඉතිං අංකලුයි මමයි එලියට බැහැලා ගහේ හැම තැනම බැලුවා, මුකුත්ම නෑ...ඒත් කෑගැහිල්ල නං තාමත් ඇහෙනවා

මම පොඩ්ඩක් සද්දෙ එන දිහාට ඇවිදගෙන ගියා....ඔන්න එතකොට තමයි මම දැක්කේ "අයියෝ අංකල්, අර ලේන් පැටියෙක් නේද? අර අර ගෙදර වහලේ හිරවෙලා වගේ" ඉස්සරහා ගෙදර වහලෙයි බිත්තියයි අස්සේ හිරවෙලා හිටපු ලේන් පැටියයි , ඊටත් ටිකක් එහායින් ලේන් පැටියට කුරුමානන් අල්ලගෙන ඉන්න ලොකු පූස් තඩියායි දැක්කම මට ඉබේටම කෑගැහුනා.




                                                                 මතු සම්බන්ධයි !!!

Wednesday, October 5, 2011

මගේ ගම...




මම පුංචි කාලේ, ඒ කියන්නේ ඔය ගොඩක් දේවල් නොතේරෙන, ටිකක් දේවල් තේරෙන කාලේ පොඩි නිවාඩුවක් එහෙම ආවම අපි යනවා අපේ අම්මලගේ ගමේ. කුඹුරු, ගස් වැල් වගේම යාලුවෝ ගොඩක් හිටිය නිසා මම ඒ දවස් වල ඉන්නේ ඇගිලි ගැන ගැන ඉන්නෙ ගමේ යන්න දවසක් එනකන්...අපේ ගමේ ඒ දවස් වල  තිබ්බා ලොකුම ලොකු දං කැලයක්, මහගෙදර වටෙටම ජම්බු, රඹුටන්, අඹ, නාරං, කජු ගස් පිරිලා  ඒ වගේම එහෙ තිබ්බා නාන ලිදක් ඔය අපි ඔය දැන් නාන ටැප් වතුර වගේ නෙමේ මේ ලිදේ  වතුර ටිකකින් නා ගත්තම ඇඟට දැනෙන්නේ පුදුම සනීපයක් .

අපේ ගමේ ගෙදර කට්ටිය ගොඩයි, කරන්න දේවල් ගොඩයි, බලන්න දේවල් ගොඩයි, ඒ වගේම එහෙ මට කියාගන්න තේරෙන්නේ නැති ඒත් ඇඟට දැනෙන සතුටින් පිරිච්ච මහ අමුතු ජීවයක් පිරිල තිබ්බා...

මහගෙදරට ගිහිල්ලා වෑන් එකෙන් බහිනකොටම එන්නේ ආච්චියි, ආතයි අපිව පිලිගන්න, එයාල ලගින් එන ඒ සුවදයි ගමේ සුවදයි මටනං නිකන් තාමත් දැනෙනව වගේ....

නංගියි මමයි ගමේ යන්න වාහනේට නැග්ගම බහින්නේ කොයි වෙලාවෙද කියල බලාගෙන ඉන්නේ - වාහනෙන් බැස්ස ගමන් අයියයි, අක්කලයි, මල්ලිලයි එක්ක එකතු වෙලා මුලු ගම වටේම ඇවිදල තමයි එන්නේ,ඔන්න ටිකක් පරක්කු වෙනකොට නැන්දා කෑගහනව "ළමයි කන්න එන්න කියල"...ගස් උඩ නැගල, ඇලේ නටල, වැටිලා, අතපය එහෙම හූරගෙන තමයි ඉතින් ගෙට ගොඩ වෙන්නේ ඒත් ඉතින් අපිට මොන බඩගින්නක්ද ගස් වල තියෙන ගෙඩි ජාති කාල කාල බඩේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ,ඒ උනාට ආච්චියි නැන්දලයි එකතුවෙලා උයන රස කෑම නොකා ඉන්නේ කොහොමද??? පෙරේතකමට ඒවත් කොහොමහරි කනවා.    

මට මතකයි එක දවසක් අපේ මාමා මාව හොඳට නාවන්න ඔනේ කියල විහිළුවට අත්දෙකෙන් අල්ලගෙන ලිඳට දැම්මා - මම ඒ වෙලාවේ බය උනාට මාමා නැන්දගෙන් බැනුම් අහපු හැටි මතක් වෙනකොටනන් මට තාමත් හිනා යනවා...

රෑට නිදාගන්න යනකොට නරියෝ කෑගහන සද්දෙ ඇහෙනව, ඉතිං මාමා කරන්නේ අපි ඔක්කොම වට කරගෙන හොල්මන් කතා කියන එක...ඒ කතාවලට බයේ ගුලි වෙලා නිදාගත්තම ආපහු ඇහැරෙන්නේ උදේට කුරුල්ලෝ කෑගහන සද්දෙන්. 

මේ ඔක්කොටමත් එක්ක හරියන හොඳම වැඩේ තමයි ගමේ  පන්සල, මම පොඩි කාලේ ඉදල ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ මාව දන්නව අනික ඉතින් අපිට මේ ගමේ පන්සලට යන්න හම්බවෙන්නෙත් කලාතුරකින්නේ, එහෙම ගියාම ඉතින් ලොකු හාමුදුරුවන්ගෙන් මට තෑගි භෝග එහෙම මහ ගොඩයි. 



ඒ කාලේ අපි තරගෙට දං ගෙඩි කඩාගෙන කාපු හැටි, ඇලවල් වල නටපු හැටි, ඇලදිගේ කඩදාසි බෝට්ටු යවපු හැටි, ගොයම් පිරිච්ච කුඹුරු දිගේ ඇවිදගෙන ගිය හැටි මතක් වෙනකොට මටත් කොච්චර ලස්සන ලමා කාලයක් තිබුනද කියල හිතෙනව  


ඒත් මම මෙච්චර ආදරේ කරපු ගම දැන් ගොඩක් වෙනස් වෙලා, ආච්චි අපිව දාල ගියා, අයියලා අක්කලා ලොකු වෙලා රැකියාවන් දරුමල්ලෝ එක්ක කාර්ය බහුල වෙලා. 

අපි සෙල්ලම් කරපු දං කැලේ කපලා ඒ ඉඩම් කට්ටි කරලා විකුනලා, ඇලට කුනු දාල, කුඹුරු ගොඩ කරලා, ඉතුරු කුඹුරු පුරන් වෙලා, රෑට ඇහුන නරියන්ගේ සද්දෙත් නෑ, ගමේ ගියා කියලා දැන් ඇවිදින්න තැනකුත් නෑ... 


ඒ දවස් වල මට ගමට ගියාම දැනුන ගමේ තිබ්බ ඒ සුවඳ, සුලඟ, සතුට, ජීවය මටත් නොකියාම යන්න ගිහිල්ලා !!!