Pages

Thursday, November 3, 2011

ආදරණීය ටැංජි - පුංචි දග මල්ල [2 කොටස]


පසුගිය කොටසින්

"අයියෝ අංකල්අර ලේන් පැටියෙක් නේදඅර අර ගෙදර වහලේ හිරවෙලා වගේඉස්සරහා ගෙදර වහලෙයි බිත්තියයි අස්සේ හිරවෙලා හිටපු ලේන් පැටියයි , ඊටත් ටිකක් එහායින් ලේන් පැටියට කුරුමානන් අල්ලගෙන ඉන්න ලොකු  පූස් තඩියායි දැක්කම මට ඉබේටම කෑගැහුනා.

අතට අහුවෙච්ච ගලකුත් අරගත්ත මම ඉක්මනට ලේන් පැටියා හිරවෙලා හිටපු ගෙදර ලගට දුවලා ගියා, මම ලගට එනවා දැකපු පූස් තඩියා ටිකක් පසුබාලා ගියත් ඈතට වෙලා බලාගෙන හිටියේ කොයිවෙලාවක හරි ලේන් පැටිය බිම වැටුනම ගිලලාදාන්න ලෑස්තියෙන්....අතේ තිබ්බ ගලෙන් ගැහුවත් මේකා නෙමෙයි ගියේ, මොනාකරන්නද කියලා හිතාගන්න බෑ, එහෙන් ලේන් පැටියා බෙරිහන් දෙනවා, වහලෙට නගින්න විදියකුත් නෑ, ලගපාත් ගහක්වත් තාප්පයක්වත් නෑ....

ඔන්න එතකොටම අංකල් ගිහිල්ලා දිග කෝටුවක් අරගෙන ආවා...."දුව මම මේකෙන් වහලේ ෂීට් එක උස්සනං, බලමුකෝ පැටියා එතකොට ඇතුලට රිංගගනියි ආපහු
"අනේ පැටියටනං මුකුත් කරදරයක් වෙන්න එපා.....පැටියටනං මුකුත් කරදරයක් වෙන්න එපා".....මගේ හිත කොදුරනවා.

එහා ගෙදර අක්කයි බබයිත් එලියට ඇවිල්ලා මොකක්ද මේ ජරමරේ බලන්න, අංකලුත් කෝට්ට ෂීට් එකට ලංකරලා ෂීට් එක ඉස්සුවා විතරයි එකපාරට කවුරුත් නොහිතපු දෙයක් වුනේ...ඇතුලට යනවා වෙනුවට ලේන් පැටියා කලේ අනිත් පැත්තට පැනපු එකයි, තප්පරයෙන් දහයෙන් එකෙන් ලේන් පැටියා බිම..."ඔන්න ඔන්න දුව ඉක්මනට ඕකව අල්ලගන්න" අංකල් කෑගහනවා "අනේ අයියෝ' එහා ගෙදර අක්කත් කෑගහනවා, ඔය අස්සේ හරියට ඇවිදගන්නවත් බැරි පුංචිම පුංචි ලේන් පැටියා දුවන්න හදනවා පූසා ඉන්න පැත්තට...ඉක්මන් කරපු මම දුවලා ගිහින් ලේන් පැටියව අතට ගත්තා, අනේ පැටියා හොදටම බයවෙලා, වෙව්ලනවා.

ඔන්න එතකොටම "මම මේ කුස්සියේ උයනගමන් හිටියේ" කියාගෙන ගෙදර ඇන්ටිත් එලියට ආවා...අයියෝ ඇන්ටි ඔයා එනකොට ඔක්කොම වෙලා ඉවරයි කියලා මම අතේ ගුලිවෙලා ඉන්න ලේන් පැටියා ඇන්ටිට පෙන්නුවා. "අනේ දුකේ බෑ"!!!   අතේ ගුලිවෙලා ඉන්න ලේන්පැටියා දැක්කම ඇන්ටිට කියවුනාමෙයාව වහලෙන් තියන්නත් බෑ පූසා අල්ලයි, වහලේ ඇතුලට ආපහු දාන්න විදියකුත් නෑ ඔක්කොමත් තියා වහලෙට නැගගන්නත් බෑ දැන් අපි මොකද කරන්නේ අංකල් මගෙන් ඇහුවා.... "මම දන්න ලමයෙක් ඉන්නවා එයා හරි ආසයි සත්තු ඇති කරන්න,මම එයාට එන්න කියන්නන්කෝ මේ පැටියව අරගෙන යන්න" ඇන්ටි විසදුමක් දුන්නා.

හා එහෙනන් මම මෙයාව එතකන් තියාගන්නන්කෝ, ලේන් පැටියවත් තුරුලුකරගෙන මම ආපහු ගෙදරට ආවා "අනේ අනේ ඔයාටත් වෙන වැඩ" අපේ ඇන්ටි හිනාවෙනවා.

ලේන් පැටියගේ වෙව්ලිල්ලනං දැන් හොදටම අඩුවෙලා, උඩට ආපු මම පරණ ටීෂර්ට් එකක් අරගෙන ඒකෙන් පැටියව එතුවා, ටික වෙලාවකින් අංකල් කිරි කෝප්පෙකුත් අරගෙන උඩට ආවා "ඉවර වෙච්ච පෑන් බටයක් තියෙනවනං ගන්නකෝ දුව මෙයාට අපි කිරිටිකක් දීලා බලමුකෝ" කිරිවල ඉව දැනුන පැටියා පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා, බටේ කටලගට ලංකලාම කිරි ටිකකුත් බිව්වා. ආහ් හොදයි හොදයි මෙයා කිරි බොනවනේ, එහෙනං කරදරයක් නෑ අංකල් කියුවා. ටිකවෙලාවක් ගියාම පැටියගේ කිසිම හැලහොල්මනක් නැතිනිසා මම පොඩ්ඩක් රෙද්ද උස්සලා බැලුවා "අනේ" මෙයා ගුලිවෙලා හොදටම නිදි

විභාගෙත් අතලග, මේ පහුවෙන්නේ විභගෙට පාඩන් කරන්න කියලා දීපු නිවාඩු දවස්, අද දවසෙම වැඩක් කරන්න බැරි වෙච්ච නිසා ලේන් පැටියවත් අතේ තියාගෙනම මම පොතක් පෙරලගත්තා පාඩම් කරන්න හිතාගෙන, මෙන්න එකපාරටම මට උදේ ඇහිච්ච අර කෑගහන සද්දේ ආපහු ඇහෙනවා; සද්දේ විදියටනං ලේන් පැටියෙක්ගේ වගේ සද්දෙට නිදාගෙන හිටපු පැටියත් නැගිටලා. මම ඉක්මනට ආපහු එලියට දිවුවා අර කෑගහන සද්දෙත් එකපාරටම නැවතුනා. එහා ගෙදර අක්කත් ආපහු එලියට ඇවිල්ලා, මාව දැකපුගමන් "අනේ නංගි තව ලේන් පැටියෙක් වහලෙන් එලියට ආවා, එයාව නං ආපු ගමන්ම පූසා අල්ලගත්තානේ, අනේ පවු අපි ගල් ගැහුවට වැඩක් වුනේ නෑ පූසා පැටියව අරගෙනමයි දිවුවේ දැනටමත් එක කටටම ගිලලා ඇති...මෙයාගෙනං වාසනාව ඔයාගේ අතටම ආවනේ" මගේ අතේ ගුලිවෙලා ඉන්න පැටියාදිහා බලාගෙන අක්කා කියුවා.

මගේ හිතට ඇතිවුනේ පුදුමාකාර දුකක්, අනේ මට ඒ පැටියවත් බේරගන්න තිබ්බනං....ඒත් ඉතිං දැන් මොනා කරන්නද? ජීවිතයත් ඉතිං තණ අගරැදි පිණිබිදුවක් වගේ කියලා කියන්නේ නිකමටයැ...ලේන් පැටියව අතේ ගුලිකරගෙන මම හිමින් හිමින් ආපහු මගේ කාමරේට ගියා, වෙච්ච කිසිම දෙයක් දන්නේ නෑ වගේ මෙයා නං හොදට නිදි, මට දැන්නං මෙලෝදෙයක් පාඩන් කරන්න හිතෙන්නේත් නෑ අම්මට කෝල් එකක් දීලා විස්තරේ කියනවා කියලා හිතාගෙන ඔන්න අම්මට කෝල් එක අරගෙන විස්තරේ කියන්න පටන්ගත්තා විතරයි මෙන්න අම්මා ඒපාර පටන්ගත්තා මට බණින්න "ඔය සත්තු ලග තියාගෙන ලෙඩ හදාගන්නද හදන්නේ, ඔන්න ඕකව කොහෙන්හරි තියලා එන්න" අලි මදිවට කොටි ඔන්න ඒපාර, මමත් ඉතින් හා කියලා කෝල් එක කට් කලාමදැයි හිත හදාගන්න කියලා අම්මට කෝල් කලා.
 . 
මෙන්න එතකොටම ඇන්ටි ආවා හිස් කාඩ්බෝඩ් පෙට්ටියකුයි රෙදිකෑලි ටිකකුයි අරගෙන "පුතා මෙන්න මේකේ තියන්නකෝ ඔය පැටියව"...අතේ හොදට නිදාගෙන හිටපු පැටියව මම හිමින් සැරේ පෙට්ටිය ඇතුලෙන් තිබ්බා

පෙට්ටිය ඇතුලෙන් තියලා විනාඩි පහක්වත් ගියේ නෑ මෙන්න මෙයා නැගිටලා දගලනවා, "මෙයා තාම අම්මගේ උණුසුමට හුරු ඇති, ඔයාගේ අතේ රස්නෙට වෙන්න ඇති නින්ද යන්න ඇත්තේ" ඇන්ටි කියුවා. මම ආපහු පැටියව අතට අරගත්තා විනාඩියක්වත් ගියේ නෑ මෙයා මගේ අතේ ගුලිවෙලා හොදට නිදි.

එදා දවසම මම බලාගෙන හිටියේ කවුරුහරි ලේනෙක් ඇවිත් පැටියව හොයයිද කියලා, මගේ බලාපොරොත්තු කඩකරමින් එදා හවස් වෙනකන්ම කිසිම ලේනෙක් පැත්තේ ඉන්නවා මම දැක්කේ නෑ... 
තමන්ගේ පැටවු නෑ කියලා දැනගත්තම ලේන් අම්මට මොනා හිතෙයිද කියලා නොහිතන්න මම උත්සහ කලා, ඒත් මගේ අතේ ගුලි වෙලා නිදාගෙන ඉන්න පැටියව දැක්කම මගේ හිතට දුකක් එක්ක පුදුමාකාර නොසන්සුන්කමක් ඇති වුනේ.

"අනේ මංජි මෙයාව කාටවත් දෙන්න එපා මෙයාව අපි තියාගමු, ඔය මාලනී ඇන්ටි කියන ලමය මෙයාව කොහොම බලාගනිද කියලා කවුද දන්නේ? අනික මෙයාගෙන් කරදරයකුත් නෑනේ ඔය නිදාගන්න එකනේ පැත්තකට වෙලා අනේ පවු මේ පැටියා" යාලුවන්ගෙන් අදහස් ගොඩයි.

ඔන්න එදා ඉදන් මේ පුංචි ලේන් පැටියා අපේ බෝඩිමේ  නිත්‍ය නේවාසිකයෙක් වුනා, මම පැටියගේ අම්මා වුනා වගේම මගේ යාලුවෝ ටික පැටියගේ නැන්දලා, පුංචිලා ටික වුනා....එදා රෑම පැටියට සදා නැන්දාගෙන් කිරි බෝතලයකුත් හම්බ වුනා, කිසිම කරදරයක් නෑ කිරිටික හදලා බෝතලේට දාලා දුන්නම අත් දෙකෙන්ම අල්ලගෙන බීගෙන බීගෙන යනවා ඊට පස්සේ කොහොමහරි මගේ බෙල්ල ලගට නැගලා හොදට ගුලිවෙලා නිදාගන්නවා.

කොහමින් කොහොමහරි පැටියට අන්තිමට නමක් දාන්න කට්ටියම කතා වුනා.... අනුලා, කාජල්, මධුරි, ජාවා, C, ඇණේ ඔය වගේ අපේ කට්ටියගේ ඉතාමත් උසස් අදහස් අතරේ ගයාන් කියුවා ඔයා මංජිනේ අපි ඒකනිසා මෙයාට ටැංජි කියමු කියලා ඔන්න එදා ඉදලා මගේ පුංචි පැටියා ටැංජි නමින් අභිෂේක වුනා.

දවසේ පැය විසිහතරෙන් පැය තුනක්ම නිදාගන්න ටැංජියා ඉතුරු පැයේ නැගිටලා ඉන්නේ හදලා දෙන කිරිටික බොන්න. අපි කවුරුවත් නැත්තන් මේ පුංචි දගමල්ල පෙට්ටිය ඇතුලට වෙලා හොදට නිදාගන්නවා, හැබැයි මම බෝඩිමේ ඉන්නවා කියලා දැනගත්තොත්නං මම අතට ගන්නකන් පෙට්ටිය ඇතුලට වෙලා දගලනවා.

ඔන්න එකදවසක් අපි ඔක්කොම කැම්පස් ගියා, ටැංජියා පෙට්ටිය ඇතුලේ නිදි....කැම්පස් එකේ කුප්පියකට එහෙම සහභාගි වෙලා එනකොට ටිකක් වෙලා ගියා, මම ආපු ගමන් කලේ ටැංජියව අතට ගන්න පෙට්ටිය ඇතුලේ බලපු එක, මම දැකපු දෙයින් එක පාරටම ගැස්සිලා ගියා...


                                                                මතු සම්බන්ධයි !!!

2 comments:

  1. නියමම නියමයි...මෙ කතාව අතුලෙ දුක ආදරය ත්‍රාසය ඔක්කොම ලස්සනට තියෙනව.ඉතිරි ටිකත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
  2. මාව හැමවෙලාවෙම දිරිමත් කරනවට ගොඩක් ස්තුතියි ගයාන්, මම ලියන්නං ඉතුරු ටිකත් ඉක්මනටම :D

    ReplyDelete