Pages

Sunday, June 10, 2012

චණ්ඩි ගෙම්බා


එකෝමත් එක දවසක එකෝමත් එක කාලෙක අපේ ගෙදර ලග තිබ්බ ගහක් ලගට පුංචි පැණි කුරුලු ජෝඩුවක් ආවා...දැන් ඔයාල බලනවා ඇති මේ පෝස්ට් එකේ මාතෘකාවටයි පැණි කුරුල්ලන්ටයි තියන සම්බන්ධෙ මොකද්ද කියලා, පොඩ්ඩ්ක් කලබල නොවී දිගටම කියවගෙන යන්නකෝ.

මේ ආපු පැණි කුරුලු ජෝඩුව ලොකු සාකච්ජාවකින් පස්සේ එහෙම ඔන්න මකුලු දැල්, වේලිච්ච කොළ ජාති ගෙනල්ලා ලස්සන කූඩුවක් හදන්න පටන් ගත්තා, කූඩුව හදලා වැඩි දවසක් ගියේ නෑ කිරිල්ලි බිත්තර රකින්න පටන් ගත්තා...සතියකින් විතර කූඩුව ලගින් යන මට ඇහුනේ පුංචි කිචිබිචියක්.

කුරුල්ලයි, කිරිල්ලියි එකතුවෙලා පැටියන්ට තරගෙට කෑම කවනවා, ටික දවසකින් පැටවු ලොකු වෙලා ඉගිලිලා ගියා.

ටික දවසක් ගියාම තවත් පැණි කුරුලු ජෝඩුවක් මේ කූඩුවට පදිංචියට ආවා, එයාලගෙත් පැටවු ලොකු වෙලා ඉගිලිලා ගියාම කූඩුව පාලුවට ගිහිල්ලා තිබ්බේ...

ඒත් කාලයක් ගියාම එක පැණි කුරුල්ලෙක් මේ කූඩුවේ රෑට ඇවිත් නිදාගන්න පුරුදුවෙලා හිටියා.

ඔන්න එදත් මේ පැණි කුරුල්ලා එයාගේ සුපුරුදු තැනට නිදාගන්න ආවම කවුද එතන ඉන්නවා, මේ පිංතූරේ බැලුවම ඔයාලටත් පෙනෙයි එතන කවුද හිටියේ කියලා..."ඒයි මේ මගේ තැන" පැණි කුරුල්ලා තරහෙන් කිචිබිචි ගෑවා. ඒත් මේ චණ්ඩියා නෙමෙයි එයා හිටපු තැනින් හෙලවුනේ, ටිකක් වෙලා එතන හිටපු පැණි කුරුල්ලා වෙන තැනක් හොයාගෙන යන්න ගියා.

එදා ඉදන් මේ චණ්ඩි ගෙම්බගේ නවාතැන වුනේ මේ කුරුලු කූඩුව, දවල්ට හොදට ඒක අතුලට වෙලා නිදාගන්න මේ කම්මැලියා හොදටම රෑවුනාම එලියට ඇවිත් ආපහු කූඩුවට ගිහින් නිදාගන්නවා.

තව වැදගත් දෙයක් තමයි මෙයා  polypedates cruciger නැමැති ලංකාවට ආවේණික ගෙම්බෙක් වීම.



Saturday, May 12, 2012

හිත ලෙඩින්

තිබ්බ වැඩ කන්දරාවත් එක්ක හුග දවසකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා... සරසවියේ යාලුවෝ එක්ක හිටපු  කාලේ මතක් වෙනකොට හිතෙනවා ජීවිතේ කොච්චර සුන්දරද කියලා, ගැටලු ප්‍රශ්න තිබුනත් අපිට හැමෝමත් එක්ක හිනාවෙලා ඉන්න බැරිකමක් තිබ්බේ නෑ.

මීට අවුරුදු තුනහමාරකට විතර කලින් අරගෙන ගිය බඩුත් ඔක්කොම අරගෙන මෙච්චර කල්  හිටපු බෝඩිං වලටයි, යාලුවොන්ටයි, කැම්පස් එකටයි සමුදීලා එනකොට අදින් පස්සේ හැමදාම ගෙදර ඉන්න පුලුවන් කියන සතුට තිබ්බත් හිත යටින් මොකද්දෝ කියාගන්න බැරි හැගීමක් තිබ්බා. එහෙන් එන දවසේ හිතට දුකක් නොදැනුනත් කැම්පස් එකේ ගතකරපු ඒ කාලේ ආපහු එන්නෙ නෑ කියලා හිතෙනකොට හිතට දැනෙන්නේ මහ අමුතු හැගීමක්, දුකක්.


ඒත් ඒ දවස් වල ගෙදර එන එක තරම් වෙන සතුටක් අපිට තිබ්බෙ නෑ හැබැයි දැන් ගෙදර ඇවිල්ලා, යාලුවන්ගෙන් දුරස් වෙලා ඉන්නකොට හිතෙනවා මේ ජීවිතේ හරි ඒකාකාරී නේද කියලා.

කැම්පස්  එකේ අන්තිම සෙමෙස්ටරයේ තිබ්බ විභාග, ඇගයිම්, ව්‍යාපෘති, සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් එක්ක නින්දක්වත් නැතුව හෙම්බත් වෙලා හිටපු මට අලුත් අවුරුද්දට සති දෙක තුනකට කලින් ගෙදර ආවත් ඇවිල්ලා සතියක් යන්නත් කලින් ආයතනයක වැඩ පටන්ගන්න වුනා. ජීවිතය කියන්නේ අපිට හැමදාම අලුත් අත්දැකීම් දෙන දෙයක් ඉතින් වැඩ කරන අතරතුර අලුත් අය ගොඩ දෙනෙක්ව අදුර ගත්තා වගේම අලුත් දේවල් ගොඩකුත් ඉගෙනගත්තා,තාමත් ඉගෙන ගන්නවා.

ගොඩක් දේවල් කියන්න හිටියත් හිතට දැනෙන්නේ අමුත්තක්, සමහරවිට කාලගුණේ නිසා වෙන්න ඇති... එහෙනම් අදට සමුගන්නම් ඉක්මණින්ම නැවතත් හමුවීමේ අදහසින් !

Saturday, January 14, 2012

රේඩියෝ ස්ටේෂන් එකකට කෝල් කලෙමු... :D


අලුත් අවුරුද්දේ තිබ්බ වැඩ කන්දරාවත් එක්ක ඔන්න අද තමයි යන්තන් හරියට නිදාගන්නවත් වෙලාවක් හම්බවුනේ, දවල් කැන්ටිමේ යාලුවොත් එක්ක කතාකරකර ඉන්නකොට පරණ බෝඩිමේ වෙච්ච සිද්ධියකුත් එලියට ආවා....එහෙනන් ඉතින් අලුත් අවුරුද්දත් සුන්දර අතීතයේ පරණ කතාවකින්ම පටන් ගමුකෝ.


ඒ ගතවුනේ කැම්පස් එකේ විභාග කාලේ, අපේ බෝඩිමේ කටිටියත් ජයටම පාඩම් කරනවා....වෙනදට මුලු පලාතටම ඇහෙන්න බෝඩිම දෙවනත් කරන කට්ටියගේ අද අල්පෙනෙත්තක් බිම වැටෙන තරම්වත් සද්දයක් නෑ, මොකද කැම්පස් එකේ පළවෙනි පන්තියේ සාමාර්ථයක් ටාර්ගට් කරන එක්කෙනෙක් ඇරෙන්න ඉතින් මම දන්න තරමටනං ඉතින් අපි හැමදාම පාඩන් කරන අය නෙමෙයි එමනිසාවෙන් විභාගේ කියන්නේ අපිට විභාගෙම තමයි.අපේ කට්ටිය කියන විදියටනන් විභාගේ ලංවෙලා පාඩන් කලේ නැත්තන් කිසි කික් එකකුත් නෑ

ඔන්න විභාගේ කාලෙට ඉතින් කට්ටියම සහයෝගෙන් ප්ලේන් ටී බිබී, බිස්කට් කකා රෑ 1-2 විතර වෙනකන් පාඩන් කරනවා, ඔය අතරේ පොඩි පොඩි නිදිමතවල් ආවම කරන්නේ රික්වෙස්ට් ෂෝ කරන රේඩියෝ චැනල්ස් වලට කතා කරන එකයි....සාමාන්‍යයෙන් ඔය වැඩේට දක්ෂ අපේ සචියා තමයි, ඔය විදියට විභාගේ දවස් වල දිගටම කතා කරලා අන්තිමට  රේඩියෝ චැනල් එකේ අය සචියගේ කටහඩින්ම අදුරගත්ත වෙලාවලුත් තිබ්බා (මොකද ඉතින් ටකරමට ගල් ගහනව වගේ අපේ සචියගේ කටහඩ හරිම කන්කලුයිනේ :D)

ඔහොම ඉතින් එක දවසක අන්තිමට පාඩන් කරන්න ඉතුරු වුනේ මමයි ෂානියයි විතරයි...රෑ 3 ත් පහුවෙලා දෙන්නටම නිදිමතක් නෑ, හෙට උදේම විභාගෙට යන්නත් ඕනේ ! කමක් නෑ නිදිමතත් නැති නිසා අපි දෙන්නම එහෙනන් තව ටිකක් පාඩන් කරමු කියලා තීරණය කලා.

 ඒත් ටිකක් වෙලා යනකොට කම්මැලියි වගේ...."මං කියන්නද වැඩක්, එහෙනන් අපි රේඩියෝ චැනල් එකකට කතා කරමු" යෝජනාවක් ආවා.... දැන් ඉතින් ඔන්න දෙන්නම තියන තියන හැම චැනල් එකටම කතා කලා කෝ එකක්වත් ආන්සර් කරන්නේ නෑනේ, නිවේදකයට නින්ද ගිහිල්ලද දන්නේ නෑ කියලා හිනාවෙවී තව චැනල් එකකට ගත්තම  ටික වෙලාවක් රිංග් වෙවී තිබිලා ඔන්න කවුද එකපාරට එහා පැත්තෙන් ආන්සර් කලා

- හලෝ....
- හලෝ මේ අහවල් රේඩියෝ චැනල් එකද?
- ඔව්....
- අපිට සිංදුවක් ඉල්ලන්න පුලුවන්ද?
- ආ නංගි දැන්නං චැනල් එක වහලනේ, හෙට කොල් කරන්නකෝ...කියලා ඔන්න කෝල් එක කට් වුනා

මළා, ඔන්න එතකොට තමයි වෙලාව දැක්කේ උදේ 5 ත් පහුවෙලා කියලා...."හප්පේ වෙච්ච ලැජ්ජාවක්", හෙට උදේ මේක කට්ටියට කියුවම හම්බෙන කමෙන්ට්ස් ටික ගැන හිතුවම ඊට වඩා ලැජ්ජාවයි....දැන් ඉතින් මොනා කරන්නද වෙච්ච දේ වුනා, තව පැය තුන හතරකින් විභාගෙට යන්නත් ඕනේ, පැයක්වත් නිදාගන්න තීරණය කරලා ඇදට ගියත් වෙච්ච දේ මතක් වෙනකොට හිනාව නවත්තගන්න බෑ දෙන්නටම..... :D


පිංතූර අන්තර් ජංජාලයෙන් ලබා ගන්නා ලද ඒවා වේ...

Wednesday, December 7, 2011

රුපියල් 800 ක් ගෙවා සාස්තරයක් ඇසුවෙමි...




පැංචෝ අපි හෙට මහරගම යමුද, මට බඩු වගයක් ගන්න තියෙනවා අනිද්දට කැම්පස් යන්නත් ඕනිනේ....මගෙන් යෝජනාවක්, " හරි හරි අපි යමු එහෙනන් අකුරු තුනේ බුරියානි කඩෙන් දවල්ටත් කාලම එමු " මගේ යෝජනාවට තව අදහසක් එකතු කරලම ගයාන් යෝජනාව ස්ථිර කලා.

ඔන්න ඉතින් පහුවෙනිදා මහරගම පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා කලමනා කාරිය එහෙම ටිකක් ගත්ත අපි මහරගම යූත් සෙන්ටර් එක පැත්තට ඇවිදගෙන ගියේ තවත් කඩයකට යන බලාපොරොත්තුවෙන් එතකොට තමයි මම දැක්කේ පාර අයිනේ හිටපු සාස්තර කියන අහිකුණ්ඨක ගැහැණු උදවිය කිහිප දෙනෙක්. පොඩි කාලේ ඉදන්ම සාස්තරයක් අහන්න කැමැත්තෙන් හිටියත් අම්මගේ දැඩි විරෝධය නිසා මට කවදාවත් සාස්තරයක් අහන්න හම්බවුනේ නෑ.

අහිකුණ්ඨක ගැහැණු උදවියව දැකපු ගයානුත් මගෙන් ඇහුවා මොකද කියන්නේ අහමුද සාස්තරයක් කියලා, ඕනි නෑ කියලා හිතේ දෙගිඩියාවෙන් එතනින් යද්දී එතන හිටපු අහිකුණ්ඨක ගෑනුකෙනෙක් දිහා මට බැලුනේ නිකමට, "මම කියනවට පොඩ්ඩක් මෙහෙ එන්නකෝ නෝනා"....හා එහෙනන් කමක් නෑ අහමුකෝ බලන්න සාස්තරයක්, මගේ හිත මට උත්තරයක් දුන්නා.

නෝනා එහෙනන් මෙතනින් පොඩ්ඩක් වාඩිවෙලා දෙන්නකෝ මට වම් අත නෝනගේ, "පොඩි පොඩි ඉරි තමා නෝනට පොඩි පොඩි කරදර තියනවා, හිත තමා හරිම හොද, කාටත් උදවු කරනවා.....ඔන්න ලිස්ට් එකක්ම කියවගෙන ගියා, ඔය අතරේ ඉතින් මගේ නැතෙයි කියලා හිතාගෙන හිටපු හොද එහෙමත් කියවුනාම මට පොඩි ආඩම්බරයකුත් ඇතිවුනා, ඇයි ඉතිං දැන් බලාගෙන යනකොට මමවත් දන්නේ නැති තරං මම හොදයිනේ; ඒ වුනත් කියපු ලිස්ට් එකෙන් මගේ ප්‍රියතම කොටස තමයි "නෝනා දේවතාවියක් වගේ උනාට අසාධාරණේට කට ඇරියොත් කාලි මෑණියෝ" වගේ කියපු එක, ඔය ඇරෙන්න තව කියපු දේවල් වලින් තුන්කාලක් විතර තෙරුනේත් නෑ හරියට,හේතුව තමයි පැයට හැතැප්ම සීයක විතර වේගෙන් කියවීම සහ සමහර වචන නොතේරීම....හැබැයි ඉතිං මට තේරෙන්න කියපුවගෙන් බාගයක් විතර හරියි කියලා තමයි මට හිතුනේ.

ඔන්න මට ආපහු උපදෙසක් හම්බ වුනා කැමති මල් වර්ග දෙකක් හිතාගන්න කියලා, ඊලගට කාලි මැණියන්ගේ පොත කියලා එකක් අරගත්තා....ඒක නිකන් පෙනුමටනං පරණ පුස්කොල පොතක් කියලයි මට හිතුනේ....ආපහු උපදෙසක් කාලි මෑණියන්ගේ පොත ඇතුලට නූලක් දාන්න...ඔන්න ඒකත් දැම්මා....ඕන් එතකොට පෙරලුනා පි‍ටුවක් ඒ කාලි මැණියන්ගේ පොතෙන්, මෙන්න තියෙනවා ලස්සන නාග රූපයකුයි දේව රූපයකුයි.පොත දිගහැරගත්ත සාස්තර උදවිය ඔන්න මම හිතපු මල විස්තර කරන්න පටන් ගත්තා, නෝනා මුලින් හිතුවේ රෝස මල - වැරදිනේ මම හිතුවේ නෙලුම් මල, නෝනාට ඊලගට පිච්ච මලද අරලිය මලද කියලා හිතාගන්න බැරිවුනා ඒ වුනාට අන්තිමට හිතුවේ පිච්ච මල - හරි නේන්නං මට එහෙමම හිතුනනේ.


ආපහු මගේ වම් අත අරගෙන තවත් විස්තර රාශියක්ම, නෝනගේ හැම බලාපොරොත්තුවක්ම ඉ‍ටුවෙනවා, හැම වැඩක්ම සාර්ථක වෙනවා, නෝනා මේ සිකුරාදට ස්වීප් ටිකට් එකක් ගන්න S අකුරෙන්, ඒක හරි ගියොත් මම දන්නවා නෝනා ඇවිත් මට සලකාවි....නෝනා දැන් සල්ලි කියලා හිතන්නේ නැතුව මේ කාලි මෑණියන්ගේ පොතේ කියලා තියෙන මුදල පූජාවක් කියලා හිතලා තියන්න.....හප්පේ එතකොටනේ දැක්කේ පොතේ නාග රූපෙ ලග රු300කුත් දේව රූපේ ලග රු500කුත් ලියලා තියනවා, මදැයි සාස්තර ඇහුවා රු800ක් !!! දෙනවද නැද්ද, මොකද කරන්නේ??? කරන්න දෙයක් හිතාගන්න බැරුව මම ගයාන්ගේ මූණ බැලුවේ, ඕනි එකක් කමක් නෑ ඔන්න ඔහේ දෙනවා..."සල්ලි කියලා හිතන්නේ නැතුව දෙන්න නෝනා, මාරු නැත්තන් දෙන්න මම මාරු කරලා දෙන්නං" සාස්තර බවලතාගෙන් තවත් උපදෙසක්. මේක කියපුවම මට අපේ කස්ටියගෙන් හොදට අහගන්න පුලුවන්, එක අතකට අපරාදේ සල්ලි...එක එක දේවල් හිතින් හිත හිතම මම ඔන්න සල්ලි දුන්නා.

නෝනා දන්නේ නැතුව නෝනට පයට යම් දෙයක් පෑගිලා තියෙනවා, නෝනට තියෙන එකම අපලේ ඒක තමයි....මේ කියන්නේ මොකක්ද ඒපාර???  නෝනා ඔය අපලේ අයින් කරන්නේ කොහොමද කියලා මගෙන් අහන්නේ නැතුව මට කියන්න බෑනේ ඔන්න මට සාස්තර කියන උදවියගෙන් චෝදනාවක්....ඔන්න එතකොට තමයි මට තෙරුනේ මට මොකක් හරි වෙච්ච දෙයක් ගැන තමයි මේ කියන්නේ කියලා, හා එහෙනන් ඕකත් අහමුකෝ "ඔය අපලේ අයින් කරන්නේ කොහොමද"? ....සීනිගම දේවාලෙට ගිහිල්ලා කරන්න කියලා මොකක්ද තවත් උපදෙසක් !!! නෝනට යන්න බැරිනං නෝනගේ පයට පැගුන ගල් කැටයක් මට ගෙනත් දෙන්න, මම ඒක කරන්නං, නෝනා සල්ලි කියලා හිතන්නේ නැතුව ඒකට කෝවිලට පූජාව විතරක් දෙන්න....එනපොට හොද නෑ වගේ, ඉදගෙන හිටපු තැනින් නැගිට්ට මම ගයාන් දිහා බැලුවා..."ඔය පූජාවට කීයක් දෙන්න ඕනිද" ගයාන් ඇහුවා, මහත්තයා සල්ලි කියලා හිතන්නෙ නැතුව පූජාවක් කියලා හිතලා දෙන්නකෝ, "නෑ කමක් නෑ ඕනි නෑ" සාස්තර උදවියට කියපු මම ගයාන්වත් ඇදගෙන යන්න ලැස්තිවුනා...."ඔය නෝනගේ අපලේ හින්දා තමයි ඔය පූජාව කරන්න නෝනගේ හිත දෙන්නේ නැත්තේ" සාස්තර උදවිය අනතුරු ඇගෙව්වා, නෑ කමක් නෑ බොහොම ස්තුතියි ගයාන්වත් ඇදගෙන මම එතනින් පිටත්වුනේ මේක ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්න බැරුව....


පින්තූර ගත්තේ - http://www.imontvbitch.com/2009/09/the-face-reader/

Tuesday, November 29, 2011

ආදරණීය ටැංජි - පුංචි දග මල්ල [අවසාන කොටස]


පසුගිය කොටසින්

ඔන්න එකදවසක් අපි ඔක්කොම කැම්පස් ගියා, ටැංජියා පෙට්ටිය ඇතුලේ නිදි....කැම්පස් 
එකේ කුප්පියකට එහෙම සහභාගි වෙලා එනකොට ටිකක් වෙලා ගියා, මම ආපු ගමන් කලේ ටැංජියව අතට ගන්න පෙට්ටිය ඇතුලේ බලපු එක, මම දැකපු දෙයින් එක පාරටම ගැස්සිලා 
ගියා...


වෙනදට මම පෙට්ටිය ඇරපු ගමන් එලියට පනින්න බලාගෙන ඉන්න ටැංජියා පෙට්ටිය ඇතුලේ පේන්නවත් නෑ , "පූසවත් කාමරේට රිංගුවද දන්නේ නෑ සිතිවිල්ලත් එක්ක මගේ ඇග හිරිවැටිලා ගියා. කරන්න හිටපු වැඩ ඔක්කොම අමතක කරපු අපි ටෝච් අරගෙන ඇදවල් යට බඩගගා මුලු කාමරේ පුරාම ලේන් පැටියව හොයනවා ඒත් ටැංජියගේ සේයාවක්වත් පේන්න නෑ, කට්ටියටම හොදටම හති.... එකපාරටම මට අපේ කාමරේ තිබ්බ ජනෙල් රෙද්ද දිහා බැලුනේ නිකමට....මෙන්න ඉන්නව ටැංජියා හොරගෙඩියා වගේ ජනෙල් රෙද්ද උඩට වෙලා මගෙ දිහා බලාගෙන.... " අනේ මේ හොරගෙඩියා මෙච්චරවෙලා මෙතනනේ ඉදලා තියෙන්නේ, බලන්නකෝ අපි හෙවුව තරමක් මෙයාව" කට්ටියගෙන් බැණුම් කෝටියයි, කොහෙද ඉතිං මේ දගමල්ලට ඕවා තේරෙන එකක්යැ

ටිකෙන් ටික විභාගෙත් ලංවීගෙන එනවා, වෙනදට පාඩන් කරන්නවත් උදේට නැගිටින්නැති මම ටැංජියා නිසා උදේම නැගිටලා ටැංජියගේ කෑම එක හදනවා, එයාගේ ප්‍රියතම කෑම උනේ කොමඩු යුෂයි, රඹුටනුයි තමයි( රඹුටන් නැති කාලේ මේ දගමල්ලට රඹුටන් ගෙනල්ලා මම බංකොලොත් නොවුනා විතරයි ) ඊට පස්සේ ටැංජියව නැගිට්ටවලා කෑම දීලා එයාව සුද්ද කරලා මගේ ජර්සි එක ඇතුලේ එයාව දාගෙන මම පාඩන් කරනවා, ටැංජි එතකන් මගේ ජර්සි එක ඇතුලට වෙලා හොදට නිදාගන්නවා. හැමදාම හවසට මම මගේ කම්මැලිකමේ නින්දට යන්නේ ටැංජියව පෙට්ටිය ඇතුලේ නිදිකරවලා, වුනාට මම ඇද උඩ ඉන්න බව දන්න මේ දගමල්ල කරන්නේ මට නින්ද ගිය ගමන් නැගිටලා පෙට්ටියෙන් එලියට ඇවිත් ඇග උඩ රේස් දුවන එකයි, පැයට හැතැප්ම සීයක විතර වේගෙන් දුවනකොට ඉතින් මට නින්ද යයිද? නැගිට්ට වෙලාවේ ඉදලා ඉතින් සෙල්ලං කරනකන් වද දෙනවා.ටැංජියා සාමාන්‍යයෙන් කාගෙවත් ඇගට පනිනේ නෑ ඒ වුනාට මධූගේ ඇගට පනින එකනං ටැංජියාට වගේම අපිටත් විනෝදයක්, මොකද ටැංජියා ඇගට පැන්නම මධූ කරන්නේ එකතැන ගල් වෙලා කෑගහන එක. ඒ ඇරුනම ඉතින් ඔය ඉදලා හිටලා සචීගේ, ෂානිගේ ඇගට පැනලා මලපහ කරන එකත් ඉතින් අපිට ටිකක් විතර සාමාන්‍ය දෙයක් වුනා කාලයක් යද්දී.

මම ‍රැට ලැප් එකෙන් වැඩකරනකං ජනෙල් රෙද්ද උඩට වෙලා සෙල්ලං කර කර ඉන්න මේ දග මල්ල කම්මැලි උනාම කරන්නේ ජනෙල් රෙද්ද උඩ ඉදලා මේසේ උඩට හරි, ලැප් එකේ කීබෝඩ් එක උඩට හරි පනින එක (මම කාලයක් යනකොට මගේ කීබෝඩ් එක ගැනත් අදහස අමතක කරගෙන හිටියේ :D )  ඊට පස්සේ ඉතින් මට වද දිදී මවුස් එකයි වයර් ටිකයි හපන්න හදනවා එයාට මහන්සි වුනාම ලැප් එකේ ෆෑන් එක පිටිපස්සට වෙලා ඉන්නවා, හේතුවක් දන්නේ නැති වුනත් ටැංජියා හරිම කැමතියි ලැප් එකේ ෆෑන් එක පිටිපස්සට වෙලා රත් වෙවී ඉන්න. ඔහොම දගලලා දගලලා ඇතිවුනාම මගේ ඇගට පැනලා ජර්සිය ඇතුලට වෙලා නිදාගන්නවා.කාලයක් යනකන් පෙට්ටිය ඇතුලේ නිදාගත්ත ටැංජියා පස්සේ පෙට්ටිය ඇතුලේ නිදාගන්න එක ප්‍රතික්ෂේප කරලා මගේ කොට්ටේ ලගින් නිදාගන්න පුරුදු වුනාට පස්සේ මට එලාම් එකක් ඕනි වුනේ නම් නෑ, මොකද මම නැගිටින්න පරක්කු වුනොත් ටැංජියා නැගිටලා මගේ කන හපලා, ඇද පුරා දුවලා හරියට නිකන් ලොකේ විනාශ වුනා වගේ හැගීමක් එක්ක මාව නැගිට්ටවනවා  කියන්න කරදරයක් නෑ මොකද  ටැංජියත් මම වගේම කම්මැලියෙක් නිසා මට උදේ පාන්දරනං නැගිට්ටෙවුවේ නෑ, මගේ යාලුවොනං කිව්වේ අම්මගේ ගතිගුණ ඒ විදියටම පැටියටත් තියනවා කියලා.

හරියට ඇවිදගන්නවත් බැරි කාලේ මගේ ලගට ආපු ටැංජියා දැන් ටිකක් ලොකු වෙලා, කවදාකවත් එයාව කූඩු කරන්න මම හිතුවෙ නැති වුනත් කරන දග වැඩ නිසා දවසක් යාලුවෙක්ගෙන් කූඩුවක් ඉල්ලගෙන ඇවිල්ලා ඒකට දැම්මා, අනේ ඒවුනාට ඒක් ඇතුලට වෙලා බයවෙලා හිටපු හැටි දැක්කම මම ආපහු පැටියව අතට ගත්තා ඒත් දැන් මොනාද කරන්නේ,හැමදාම එයාව අතේ තියාගෙන ඉන්නද??? " එහෙනන් මෙයාව නිදහස් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ,මොකද සතෙක් කූඩු කරලා තියන එක පවක් එයාලා අයිති එයාලගේ ලෝකෙට" අමාරුවෙන් උනත් මම තීරණයකට ආවා.

ඊට පස්සේ ආපු පෝය දවසේ මම ටැංජියව ගහක් උඩින් තියල බලාගෙන හිටියා, ටික වෙලාවක් ගහ බදාගෙන හිටපු ටැංජියා කලේ මගේ ඇගට පැනපු එකයි...දවස් දෙක තුනක්ම මම පැටියව ගහ උඩින් තිබ්බත් එයා නෙමෙයි අඩියක්වත් හෙල්ලුනේ. ටැංජියා ගිය නැති එකගැන මම හිත යටින් සතු‍ටු වුනත් ටැංජි මගේ ලෝකෙට අයිති නැති බව මට සැරින් සැරේ මතක් වුනා.

මෙහෙම හරියන්නේ නෑ, ටැංජිව තව ලේන්නු ඉන්න තැනක නිදහස් කරන්න ඕනේ මෙහෙ ලේනේක් පේන්නවත් නෑනේ...බැරිම තැන මම ටැංජිව අපේ ගෙදර එක්ක එන්න තීරණය කලා - ඒත් බදුල්ලේ ඉදලා කොළඹට මම කොහොමද බස් එකේ එක්ක එන්නේ මෙයාව??? මගේ අදහස අහපු අයනං තීරණය කලා මට පිස්සු කියලා, ඒත් "නෑ පුතා මෙයා එහෙම දගලන එකක් නෑ, පෙට්ටියක දාලා හොදට රෙදි වලින් ඔතලා අරගෙන යන්න අංකල් මාව දිරිමත් කලා"

කැම්පස් එකේ නිවාඩු දෙන්න කලින් දවසෙ මම ටවුන් එකට ගිහින් පියනක් තියෙන පොඩි කූඩයක් ගෙනාවා, ඒකට  හොදට රෙදි දාලා පිරෙවුවා, හෙට ගෙදර යන්න සියල්ලම ලෑස්තියි ඒගැන වගේ වගක් නැති ටැංජියා මගේ ලගට වෙලා දගල දගල ඉන්නවා. ලැප් එකේ චාජර් එක පිච්චිලා ඔන්න මධුවත් මාත් එක්ක කොළඹ එන්න ලෑස්තියි. එන්න කලින් දවසේ රෑ අපි දෙන්නා ඉතිං පොඩ්ඩක් උපකල්පනය කරලා බැලුවා ටැංජියා කූඩෙන් එලියට පැනලා බස් එක පුරා දුවන්න ගත්තොත් මොනා වෙයිද කියලා? නිවුස් හෙඩ්ලයින් එකක් " ලේන් පැටියෙක් නිසා බසයක් කන්දකින් පහලට පෙරලේ " :D

පහුවදා උදේ 3.30 ට විතර නැගිට්ට මම ලෑස්තිවෙලා ටැංජියව නැගිට්ටෙවුවා, නිදිමරගාතෙම හිටපු කම්මැලියා කූඩයෙන් තිබ්බම ගුලිවෙලා නිදාගත්තා. අපි ගමනට ලෑස්තියි, හප්පේ උදේ පාන්දර 4ට විතර බදුල්ලේ පුදුම සීතලක්නේ. බස් නැවතුමේ තිබ්බ බස් එකකට අපිව නග්ගපු අංකල් ලේන් පැටියට කන්න බඩගිනි වුනොත් කියලා පාන් කෑල්ලකුත් ඔතලා දුන්නා.


බස් එක යනකං මමයි මධුයි බයේ හිටියේ පැටියා දගලයිද කියලා, ඒත් කිසිම කරදරයක් නැතුව මේ කම්මැලියා හොදට නිදා ගත්තා. බස් එක කන්න නැවැත්තුවම නැගිටලා පාන් කෑල්ලක් එහෙම කාපු ටැංජියා ආපහු ගෙදරට යනකන්ම හොදට නිදාගත්තා.

ගෙදර ගියාම අම්මා මට හොදට දෙහි කපයි කියලා හිතුවත් මේ දගමල්ල දැක්කම අම්මටත් එයාට ආදරේ නොකර බැරිවුනා. මෙහෙම ටික දවසක් ගෙදර හිටිය ටැංජිව මම දවසක් ගහකින් තිබ්බා ටික වෙලාවකින් තව ලේන්නු දෙතුන් දෙනෙක් ඇවිත් මෙයාව වට කරගත්තා, එකපාරටම කලබල වෙච්ච ටැංජියා කලේ බිම දිගේ දුවගෙන් ඇවිත් මගේ ඇගට නැගපු එකයි; ගහ උඩ ඉන්න ලේන්නු ටික වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවා, මම ආපහු පැටියව ගහෙන් ගිහින් තිබ්බා. ගොඩක් වෙලා ගහ උඩ හිටපු ටැංජි හෙමින් හෙමින් උඩට නැගලා වහලේ දිගේ ගිහින් පොල්ගහකට නැගලා ටිකක් වෙලා මගේ දිහා බලාගෙන ඉදලා එතනම හිටපු තව ලේන්නු ටිකක් ලගට ගියා. එදා රෑවෙනකන් පොල්ගහ යටට වෙලා මම බලාගෙන හිටියා ටැංජි බිමට බහිද කියලා ඒත් හොදට කරුවල වෙලා මට මුකුත්ම නොපෙනී ගියාම මගේ පුංචි දගමල්ලට එයාගේ ජීවිතේ ලැබුනනේ කියලා අමාරුවෙන් හිත හදාගෙන මම ගේ ඇතුලට ගියා.


                                                                     අවසානයි.

Thursday, November 3, 2011

ආදරණීය ටැංජි - පුංචි දග මල්ල [2 කොටස]


පසුගිය කොටසින්

"අයියෝ අංකල්අර ලේන් පැටියෙක් නේදඅර අර ගෙදර වහලේ හිරවෙලා වගේඉස්සරහා ගෙදර වහලෙයි බිත්තියයි අස්සේ හිරවෙලා හිටපු ලේන් පැටියයි , ඊටත් ටිකක් එහායින් ලේන් පැටියට කුරුමානන් අල්ලගෙන ඉන්න ලොකු  පූස් තඩියායි දැක්කම මට ඉබේටම කෑගැහුනා.

අතට අහුවෙච්ච ගලකුත් අරගත්ත මම ඉක්මනට ලේන් පැටියා හිරවෙලා හිටපු ගෙදර ලගට දුවලා ගියා, මම ලගට එනවා දැකපු පූස් තඩියා ටිකක් පසුබාලා ගියත් ඈතට වෙලා බලාගෙන හිටියේ කොයිවෙලාවක හරි ලේන් පැටිය බිම වැටුනම ගිලලාදාන්න ලෑස්තියෙන්....අතේ තිබ්බ ගලෙන් ගැහුවත් මේකා නෙමෙයි ගියේ, මොනාකරන්නද කියලා හිතාගන්න බෑ, එහෙන් ලේන් පැටියා බෙරිහන් දෙනවා, වහලෙට නගින්න විදියකුත් නෑ, ලගපාත් ගහක්වත් තාප්පයක්වත් නෑ....

ඔන්න එතකොටම අංකල් ගිහිල්ලා දිග කෝටුවක් අරගෙන ආවා...."දුව මම මේකෙන් වහලේ ෂීට් එක උස්සනං, බලමුකෝ පැටියා එතකොට ඇතුලට රිංගගනියි ආපහු
"අනේ පැටියටනං මුකුත් කරදරයක් වෙන්න එපා.....පැටියටනං මුකුත් කරදරයක් වෙන්න එපා".....මගේ හිත කොදුරනවා.

එහා ගෙදර අක්කයි බබයිත් එලියට ඇවිල්ලා මොකක්ද මේ ජරමරේ බලන්න, අංකලුත් කෝට්ට ෂීට් එකට ලංකරලා ෂීට් එක ඉස්සුවා විතරයි එකපාරට කවුරුත් නොහිතපු දෙයක් වුනේ...ඇතුලට යනවා වෙනුවට ලේන් පැටියා කලේ අනිත් පැත්තට පැනපු එකයි, තප්පරයෙන් දහයෙන් එකෙන් ලේන් පැටියා බිම..."ඔන්න ඔන්න දුව ඉක්මනට ඕකව අල්ලගන්න" අංකල් කෑගහනවා "අනේ අයියෝ' එහා ගෙදර අක්කත් කෑගහනවා, ඔය අස්සේ හරියට ඇවිදගන්නවත් බැරි පුංචිම පුංචි ලේන් පැටියා දුවන්න හදනවා පූසා ඉන්න පැත්තට...ඉක්මන් කරපු මම දුවලා ගිහින් ලේන් පැටියව අතට ගත්තා, අනේ පැටියා හොදටම බයවෙලා, වෙව්ලනවා.

ඔන්න එතකොටම "මම මේ කුස්සියේ උයනගමන් හිටියේ" කියාගෙන ගෙදර ඇන්ටිත් එලියට ආවා...අයියෝ ඇන්ටි ඔයා එනකොට ඔක්කොම වෙලා ඉවරයි කියලා මම අතේ ගුලිවෙලා ඉන්න ලේන් පැටියා ඇන්ටිට පෙන්නුවා. "අනේ දුකේ බෑ"!!!   අතේ ගුලිවෙලා ඉන්න ලේන්පැටියා දැක්කම ඇන්ටිට කියවුනාමෙයාව වහලෙන් තියන්නත් බෑ පූසා අල්ලයි, වහලේ ඇතුලට ආපහු දාන්න විදියකුත් නෑ ඔක්කොමත් තියා වහලෙට නැගගන්නත් බෑ දැන් අපි මොකද කරන්නේ අංකල් මගෙන් ඇහුවා.... "මම දන්න ලමයෙක් ඉන්නවා එයා හරි ආසයි සත්තු ඇති කරන්න,මම එයාට එන්න කියන්නන්කෝ මේ පැටියව අරගෙන යන්න" ඇන්ටි විසදුමක් දුන්නා.

හා එහෙනන් මම මෙයාව එතකන් තියාගන්නන්කෝ, ලේන් පැටියවත් තුරුලුකරගෙන මම ආපහු ගෙදරට ආවා "අනේ අනේ ඔයාටත් වෙන වැඩ" අපේ ඇන්ටි හිනාවෙනවා.

ලේන් පැටියගේ වෙව්ලිල්ලනං දැන් හොදටම අඩුවෙලා, උඩට ආපු මම පරණ ටීෂර්ට් එකක් අරගෙන ඒකෙන් පැටියව එතුවා, ටික වෙලාවකින් අංකල් කිරි කෝප්පෙකුත් අරගෙන උඩට ආවා "ඉවර වෙච්ච පෑන් බටයක් තියෙනවනං ගන්නකෝ දුව මෙයාට අපි කිරිටිකක් දීලා බලමුකෝ" කිරිවල ඉව දැනුන පැටියා පොඩ්ඩක් ඔලුව උස්සලා බැලුවා, බටේ කටලගට ලංකලාම කිරි ටිකකුත් බිව්වා. ආහ් හොදයි හොදයි මෙයා කිරි බොනවනේ, එහෙනං කරදරයක් නෑ අංකල් කියුවා. ටිකවෙලාවක් ගියාම පැටියගේ කිසිම හැලහොල්මනක් නැතිනිසා මම පොඩ්ඩක් රෙද්ද උස්සලා බැලුවා "අනේ" මෙයා ගුලිවෙලා හොදටම නිදි

විභාගෙත් අතලග, මේ පහුවෙන්නේ විභගෙට පාඩන් කරන්න කියලා දීපු නිවාඩු දවස්, අද දවසෙම වැඩක් කරන්න බැරි වෙච්ච නිසා ලේන් පැටියවත් අතේ තියාගෙනම මම පොතක් පෙරලගත්තා පාඩම් කරන්න හිතාගෙන, මෙන්න එකපාරටම මට උදේ ඇහිච්ච අර කෑගහන සද්දේ ආපහු ඇහෙනවා; සද්දේ විදියටනං ලේන් පැටියෙක්ගේ වගේ සද්දෙට නිදාගෙන හිටපු පැටියත් නැගිටලා. මම ඉක්මනට ආපහු එලියට දිවුවා අර කෑගහන සද්දෙත් එකපාරටම නැවතුනා. එහා ගෙදර අක්කත් ආපහු එලියට ඇවිල්ලා, මාව දැකපුගමන් "අනේ නංගි තව ලේන් පැටියෙක් වහලෙන් එලියට ආවා, එයාව නං ආපු ගමන්ම පූසා අල්ලගත්තානේ, අනේ පවු අපි ගල් ගැහුවට වැඩක් වුනේ නෑ පූසා පැටියව අරගෙනමයි දිවුවේ දැනටමත් එක කටටම ගිලලා ඇති...මෙයාගෙනං වාසනාව ඔයාගේ අතටම ආවනේ" මගේ අතේ ගුලිවෙලා ඉන්න පැටියාදිහා බලාගෙන අක්කා කියුවා.

මගේ හිතට ඇතිවුනේ පුදුමාකාර දුකක්, අනේ මට ඒ පැටියවත් බේරගන්න තිබ්බනං....ඒත් ඉතිං දැන් මොනා කරන්නද? ජීවිතයත් ඉතිං තණ අගරැදි පිණිබිදුවක් වගේ කියලා කියන්නේ නිකමටයැ...ලේන් පැටියව අතේ ගුලිකරගෙන මම හිමින් හිමින් ආපහු මගේ කාමරේට ගියා, වෙච්ච කිසිම දෙයක් දන්නේ නෑ වගේ මෙයා නං හොදට නිදි, මට දැන්නං මෙලෝදෙයක් පාඩන් කරන්න හිතෙන්නේත් නෑ අම්මට කෝල් එකක් දීලා විස්තරේ කියනවා කියලා හිතාගෙන ඔන්න අම්මට කෝල් එක අරගෙන විස්තරේ කියන්න පටන්ගත්තා විතරයි මෙන්න අම්මා ඒපාර පටන්ගත්තා මට බණින්න "ඔය සත්තු ලග තියාගෙන ලෙඩ හදාගන්නද හදන්නේ, ඔන්න ඕකව කොහෙන්හරි තියලා එන්න" අලි මදිවට කොටි ඔන්න ඒපාර, මමත් ඉතින් හා කියලා කෝල් එක කට් කලාමදැයි හිත හදාගන්න කියලා අම්මට කෝල් කලා.
 . 
මෙන්න එතකොටම ඇන්ටි ආවා හිස් කාඩ්බෝඩ් පෙට්ටියකුයි රෙදිකෑලි ටිකකුයි අරගෙන "පුතා මෙන්න මේකේ තියන්නකෝ ඔය පැටියව"...අතේ හොදට නිදාගෙන හිටපු පැටියව මම හිමින් සැරේ පෙට්ටිය ඇතුලෙන් තිබ්බා

පෙට්ටිය ඇතුලෙන් තියලා විනාඩි පහක්වත් ගියේ නෑ මෙන්න මෙයා නැගිටලා දගලනවා, "මෙයා තාම අම්මගේ උණුසුමට හුරු ඇති, ඔයාගේ අතේ රස්නෙට වෙන්න ඇති නින්ද යන්න ඇත්තේ" ඇන්ටි කියුවා. මම ආපහු පැටියව අතට අරගත්තා විනාඩියක්වත් ගියේ නෑ මෙයා මගේ අතේ ගුලිවෙලා හොදට නිදි.

එදා දවසම මම බලාගෙන හිටියේ කවුරුහරි ලේනෙක් ඇවිත් පැටියව හොයයිද කියලා, මගේ බලාපොරොත්තු කඩකරමින් එදා හවස් වෙනකන්ම කිසිම ලේනෙක් පැත්තේ ඉන්නවා මම දැක්කේ නෑ... 
තමන්ගේ පැටවු නෑ කියලා දැනගත්තම ලේන් අම්මට මොනා හිතෙයිද කියලා නොහිතන්න මම උත්සහ කලා, ඒත් මගේ අතේ ගුලි වෙලා නිදාගෙන ඉන්න පැටියව දැක්කම මගේ හිතට දුකක් එක්ක පුදුමාකාර නොසන්සුන්කමක් ඇති වුනේ.

"අනේ මංජි මෙයාව කාටවත් දෙන්න එපා මෙයාව අපි තියාගමු, ඔය මාලනී ඇන්ටි කියන ලමය මෙයාව කොහොම බලාගනිද කියලා කවුද දන්නේ? අනික මෙයාගෙන් කරදරයකුත් නෑනේ ඔය නිදාගන්න එකනේ පැත්තකට වෙලා අනේ පවු මේ පැටියා" යාලුවන්ගෙන් අදහස් ගොඩයි.

ඔන්න එදා ඉදන් මේ පුංචි ලේන් පැටියා අපේ බෝඩිමේ  නිත්‍ය නේවාසිකයෙක් වුනා, මම පැටියගේ අම්මා වුනා වගේම මගේ යාලුවෝ ටික පැටියගේ නැන්දලා, පුංචිලා ටික වුනා....එදා රෑම පැටියට සදා නැන්දාගෙන් කිරි බෝතලයකුත් හම්බ වුනා, කිසිම කරදරයක් නෑ කිරිටික හදලා බෝතලේට දාලා දුන්නම අත් දෙකෙන්ම අල්ලගෙන බීගෙන බීගෙන යනවා ඊට පස්සේ කොහොමහරි මගේ බෙල්ල ලගට නැගලා හොදට ගුලිවෙලා නිදාගන්නවා.

කොහමින් කොහොමහරි පැටියට අන්තිමට නමක් දාන්න කට්ටියම කතා වුනා.... අනුලා, කාජල්, මධුරි, ජාවා, C, ඇණේ ඔය වගේ අපේ කට්ටියගේ ඉතාමත් උසස් අදහස් අතරේ ගයාන් කියුවා ඔයා මංජිනේ අපි ඒකනිසා මෙයාට ටැංජි කියමු කියලා ඔන්න එදා ඉදලා මගේ පුංචි පැටියා ටැංජි නමින් අභිෂේක වුනා.

දවසේ පැය විසිහතරෙන් පැය තුනක්ම නිදාගන්න ටැංජියා ඉතුරු පැයේ නැගිටලා ඉන්නේ හදලා දෙන කිරිටික බොන්න. අපි කවුරුවත් නැත්තන් මේ පුංචි දගමල්ල පෙට්ටිය ඇතුලට වෙලා හොදට නිදාගන්නවා, හැබැයි මම බෝඩිමේ ඉන්නවා කියලා දැනගත්තොත්නං මම අතට ගන්නකන් පෙට්ටිය ඇතුලට වෙලා දගලනවා.

ඔන්න එකදවසක් අපි ඔක්කොම කැම්පස් ගියා, ටැංජියා පෙට්ටිය ඇතුලේ නිදි....කැම්පස් එකේ කුප්පියකට එහෙම සහභාගි වෙලා එනකොට ටිකක් වෙලා ගියා, මම ආපු ගමන් කලේ ටැංජියව අතට ගන්න පෙට්ටිය ඇතුලේ බලපු එක, මම දැකපු දෙයින් එක පාරටම ගැස්සිලා ගියා...


                                                                මතු සම්බන්ධයි !!!