Pages

Tuesday, July 22, 2025

වෙල්ලස්සේ මායාකාර හවස්වරු


 

පහුගිය දවස් කිහිපයේ මගේ හිත ආසාවෙන් පුරවපු මායාකාරම පින්තූරයක් තමයි ඔය උඩම තියෙන්නේ. ඕක දැකපු වෙලාවේ ඉදලම මොනා හරි ලියන්න ඕනි කියල හිත හිත හිටියට අද තමයි පොඩි වෙලාවක් හම්බවුනේ ඒකට. ඔයිට අමතරව මුණු පොතේ ගිය වීඩියෝ, රීල් දකිනකොට ඈත දුර රටක සීත ඍතුව ගෙවන මගේ හිත හීනියට උණුසුම් වුනා කැම්පස් එකේ ලස්සන අතීත කතා මතක් වෙලා. 

අපේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නමුණුකුල ඕපන් එයා තියටර් එක, එහෙමත් නැත්තන්  අපේ වචනයෙන් කියනවානන් "වල" විවෘත කරපු දිනයක ගත්ත පින්තූරයක් මේක. මේක දැක්කම මම දන්නවා මම වගේම, කැම්පස් එකේ හිටපු හැම කෙනෙක්ටම හිතෙන දෙයක් තමයි අනේ මමත් අද එතන හිටියනන් කියලා. එහෙම හිටියනන් අපිට කොච්චර දේවල් කරන්න තිබ්බද, මුකුත්ම නැත්තන් ඔය වලේ කොනකට වෙලා මේ වගේම මායාකාර හවස්වරුවක යාලුවොත් එක්ක පොඩ්ඩක් කියව කියවා හරි ඉන්න තිබ්බ නේද කියලා අතීත මතක ඔක්කොම ටික හරි අපූරුවට අවුස්සලා අරගන්න මේ වගේ පින්තූරෙකට පුලුවන්.

සමාවෙන්න ඕනි මුලින්ම මොකද මම මේ පින්තූරේ මුල් අයිතිකරු අදුරන්නේ නැහැ, කවුරුහරි අයිතිකරු දන්නවනන් කියන්න මේ පින්තූරෙට කතෘ අයිතිය දෙන්න. 

මම අපේ කැම්පස් එකේ තුන් වෙනි කණ්ඩායමේ, සහ අපේ ඩිග්‍රි එකේ පලවෙනි කණ්ඩායමේ. ඉතින් ඉස්සර ගොඩක් අය අපේ කැම්පස් එක දන්නේ නැහැ, ඌව වෙල්ලස්සේ කියුවම හැමෝම අහන්නේ ආ ඔය සබරගමු කැම්පස් එකද කියලා. එතකොට ඉතින් මුල ඉදලම කැම්පස් එක ගැන පොටෝ පෙන්නලා විස්තර කරන එක මගේ ඉස්සර පුරුද්දක්. ඩිග්‍රි එකේ අන්තිම අවුරුද්දේ ඉන්ටර්න් කරන්න මම Millenium IT එහෙම නැත්තන් දැන් LSEG  කියන කොම්පැනි එකට මාව තේරුනා. ඒ කාලෙත් ඔය විදියටම කැම්පස් ගැන මම ඔ‍ෆිස් එකේ හැමෝටම කියනවා. පස්සේ මම ඉන්ටර්න් එකෙන් අයින්වෙලා ස්තීර ‍රැකියාවකට මාරු වුනාට පස්සේ දවසක මගේ ඉන්ටර්න් බාර හිටපු ප්‍රධානියා මට කෝල් කරල ඇහුවා මට ඔයාගේ කැම්පස් එකේ තව ඉන්ටර්න් කරන්න කෙනෙක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද, මොකද මම ඔයාගේ යුනි එකෙන් ඔයාට දීලා තිබ්බ qualities වලට හරිම කැමතියි කියලා. එදානන් ඉතින් දැනුන සතුට කියන්න වචන නැහැ. වැඩිය නැහැ ඉතින් මම මගේ කැම්පස් එක වෙනුවෙන් කරන්න තිබ්බ පොඩිම පොඩි දෙයක් හරි මට කරන්න පුලුවන් උපරිම කලා කියලා සතුටින් පිපිරි පිපිරි හිටියා.

2005 අවුරුද්දේ පටන්ගත්ත අපේ කැම්පස් එක 2025 වෙනකොට තියෙන තැන, ලස්සන වෙලා තියෙන විදිය දැක්කම සහ මිනිස්සු ඔයා ගැන කතා කරන විදිය දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ. මොකද මම වගේම, අපේ කැම්පස් එකේ හිටපු හැම කෙනෙක්ගෙම හීනයක් ඒක. අපේ පලවෙනි බැච් එකේ ඉදලා, පලවෙනි උපකුලපතිතුමා, ලෙක්චරස්ලා, අපිව හොස්ටල් වල බලාගන්න හිටපු ආන්ටිලා, සෙකියුරිටි අන්කල්ලා ඇතුලු හැම කෙනෙකුම මේ ලස්සන හීනේ සම අයිතිකරුවන් කියලයි මට හිත්න්නේ.

මගේ අද දවසේ ප්‍රර්ථනයනන් ඉක්මනටම දවසක මගේ ප්‍රාණසම යාලුවොත් එක්ක ඔයාව බලන්න යන්න ලැබෙන්න කියලා, ඒකත් නිසිකල නිසි අයුරට වෙයි කියලා මට විශ්වාසයි.

ඉතින් ආදරණීය සරසවිය, මගේ ජීවිතේ සතුටින්ම පිරුන ලස්සනම ලස්සන අවුරුදු හතරට ගොඩාක් ස්තූතියි. ඉදිරියටත් සුවහසක් දුවා දරුවන්ගේ මතක පොත් සතුටින් පුරවන්නට, තව තවත් මායාකාර වන්නට ඔබට ශක්තිය ලැබේවා!


Wednesday, May 14, 2025

කැම්පස් බර කතා

 


පහුගිය දවස්
වල කැම්පස් රැග් ගැන බරටම කතා වුන නිසා සහ, ඊට අදාලව සමහර  තරුණ තරුණියන්ගෙ පොටෝ වගයක් සමාජ මාධ්ය වල හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බහුලව ෂෙයාර් වෙන නිසාත් මට ඒ දවස් වල කැම්පස් කාලේ වෙච්ච අකරතැබ්බයක් මතක් වුනා.

අපි ඌව වෙල්ලස්ස විශ්ව විද්ද්යාලයේ තුන් වෙනි කණ්ඩායම. කදු වලින් වට වෙලා තිබුන, මීදුමින් පිරෙන හරිම නිස්කලංක තැනක තිබුන කැම්පස් එක හරිම අලුත් අත්දැකීමක් වුනා.

කැම්පස් එකට ගියපු මුල්ම දවසේ ඉදලම මගේ තිබ්බ වාසනාවකට හොදම හොද යාලුවෝ ටිකක් හම්බුනා. මගේ කැම්පස් ජීවිතේ හැමදේකදිම මගෙත් එක්ක හිටියේ එයාල . අදට කියලා වෙනසකුත් නැහැ ; ෂානි, සචී, යුගා, කිචී, මධු, සදා කියන්නේ මට තාමත් මගේ ලගින්ම ඉන්න හොදම යාලුවෝ කොටසක්.

 මට මතක විදියට ඉතින් ඔන්න කැම්පස් ගිය මුල් දවස් ටිකේ සීනියර්ස්ලා හිටියේ නැහැ, මොකද එයාලාට නිවාඩු දීලා තිබ්බ නිසා. ඒ වුනාට ඒ දවස් වල රැග් එක ගැනත් හිතේ පොඩි මෙව්වා එකකින් හිටියේ මොනා වේයිද කියලා.

ඔහොම ටික දවසක් යනකොට ඔන්න නිවාඩු ගිහින් හිටපු සීනියර්ස්ලා ආවා එයාලගේ සෙමෙස්ටර් එක පටන් ගත්ත නිසා. හැබැයි එයාල වගේම අපිත් පොඩි චකිතයකින් හිටියේ මොකද දවස් වල යුනි එකේ රැග් එක තහනම්. අපිට ලෙක්චරස්ලත් අවධාරනය කරල කියුවා ඔයාලට මොකක් හරි කරදරයක් වුනොත්, ඔයාලව රැග් කරන්න හැදුවොත් අපිව දැනුවත් කරන්න කියලා. ඔය ඔක්කොම අතරේ ඉතින් අපි සුපුරුදු විදියට ලෙක්චර්ස් යනවා, එසයිමන්ට් කරනවා. කොටින්ම කියුවොත් අපි අපේ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා.

ඔය අතරේ මම CIMA කරන්න පටන් ගත්තා. ආසාවෙන් පටන් ගත්තට හැම සති අන්තෙකම වගේ මට CIMA ලෙක්චර්ස් වලට ගෙදර (බදුල්ලේ ඉදලා කොළඹ ගමනට පැය 7-8 ක් විතර යනවා) යන්න වෙනකොට නන් පොඩ්ඩක් විතර තරු පේන්න ගත්තා. සිකුරාදා ලෙක්චර්ස් ඉවර වෙලා කොළඹ යන්න 99 බස් එකේ නගිනවා, ආපහු ඉරිදා රෑට බස් එකේ නැගලා සදුදා වෙනකොට බස් එකෙන් බැහැලා උදේ ලෙක්චර්ස් වලට එනවා.

 ඔන්න දැන් තමයි කතාවේ හොදම හරියට එන්නේ.


එක දවසක් මට පණිවිඩයක් එනවා අහවල් ලෙක්චරර් ඔයාට ඇවිල්ලා එයාව හම්බෙන්න කියුවා කියලා. මමත් ඉතින් මොන මරාලයක්ද දන්නේ නෑ කියලා හිත හිත ගියා බලන්න. ගියා විතරයි මෙන්න ලෙක්චරර් කියනවා "මංජරී මම දැනන් හිටියේ නැහැ ඔයා මෙහෙම ලමයෙක් කියලා, ඇයි ඔයා හොස්ටල් එකේ මීටින්ග් තියලා ගෑනු ලමයින්ට කලුයි සුදුයි ඇදගෙන එන්න කියුවේ?"

හෑහ් මොකක්??? දැන් මම අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවා මොකක්ද මේ හතර බීරි කතාව කියලා.

ඊට පස්සේ මේ ලෙක්චරර් කියනවාමට ඔය තොරතුර ආවේ ඔයාගෙම හොස්ටල් එකේ ඉන්න ලමයෙක්ගෙන්. මම හිතන්නේ නෑ ලමයා එහෙම කතාවක් නිකන් කියයි කියලා. ඇයි ඔයා වගේ දෙයක් කලේ? ඔයා දන්නවනේ අපේ කැම්පස් එකේරැගින් සහ ඒවට සහය දීම තහනම් කියලා

මම දැන් හොදටම තක්බීර් වෙලා කල්පනා කරනවා මමවත් මේ කලු සුදු ඇදුමක් ගැන කිසි දෙයක් දන්නේ නැතුව, මම මොන මීටින්ග් තියන්නද. අනික එහෙම හොස්ටල් එකේ මීටින්ග්ස් ගන්න එක ඔය කියන තරන් ලේසි නැහැ. එහෙම ලමයි ගොඩක් එක තැනකට එකතු වුනා නන්  ඒක අනිවාර්යෙන්ම හොස්ටල් එකේ නතර වෙලා හිටපු ලෙක්චර් කෙනෙක්ට ඇහෙනවා

මේවා හිතින් විතරක් හිතන ගමන් මම ලෙක්චරර්ට කියුවා මම නන් එහෙම දෙයක් කලේ නැහැ, මොකද මම ඔය ගැන කිසිම දෙයක් ඔයා දැන් මේ කියනකන් දන්නේ නෑ කියලා.

ඔන්න ඊට පස්සේ තමයි ලෙක්චරර් තව හොදම කතාව කියන්නේ. “ඒක මට විශ්වාස කරන්න අමාරුයි. මොකද ඔයා මේ සති අන්තේ මීටින්ග් එක අරන් කියලා තියෙනවා අද කලු සුදු අදින්න කියලා. බලන්න ඔයත් ඔය සුදු ඇදුමක්නේ ඇදලා ඉන්නේ කියලා.” 

හප්පටසිරි වෙන්න එතකොට තමයි මට මතක් වුනේ මම ඇදලා හිටපු ඇදුමේ පාට සුදු කියලා.

හැබැයි එක්කම මම ලෙක්චරර්ට පැහැදිලි කරලා කියනවා, ඒක වෙන්න බැරි දෙයක්; මොකද මම හැම සති අන්තෙම CIMA ලෙක්චර්ස් වලට ගෙදර යනවා, මේ සතියෙත් මම එහෙම ගියා. ඉතින් මම හොස්ටල් එකේ ඉන්නේවත් නැතුව මම කොහොමද හොස්ටල් මීටින්ග් තියන්නේ, ඔනි නන් අපිව බලාගන්න හිටපු ආන්ටි කෙනෙක්ගෙන් අහන්න කියලා

ඔන්න එතකොට ලෙක්චරර් පොඩ්ඩක් සන්සුන් වෙලා හරි එහෙනන් ඔයා දැනට යන්න, ඒත් අපි ඔයා ගැන බලාගෙන ඉන්නේ කියලා.

 


ඉතින් ඔය කාල පරාසයේ සමහර ලෙක්චරර්ස්ලා මට ලෙක්චස්ර් වලදි හින්ට් ගහනවා මේ කතාවේ ඇත්ත නැත්තවත් හොයන්නේ නැතුව. කාලයක් තිබ්බා මට සමහර පුද්ගලයෝ සහ දේවල් ගැන නොසෑහෙන්න කලකිරුන. හැබැයි හැම වෙලාවකදිම මගේ හිත හයියට මගේ යාලුවෝ මගේ ලගින්ම හිටියා. ඉතින් ඒක නිසා මම ඔය කතා අහලා මගේ වැඩ පාඩු කරගත්තේ නැහැ, පල ඇති රුකටනේ ගල් ගහන්නේ කියලා මම මගේ වැඩ ටික හොදට කරගත්තා.




හැබැයි මට මෙතන වැඩියෙන්ම අවධාරනය කරලා කියන්න ඕනි වුන දේ තමයි ඒ කාලේත් දැන් වගේ සෝෂල් මීඩියා එතික්ස් තිබ්බා නන් මාව ඒ කාලේ එක එකාගේ පොද්ගලික, ඉරිසියාකර කෝන්තර පිරිමහගන්න පාවිච්චි වෙන්න තිබ්බා ලේසියෙන්ම. මම ගැන බොරු කේලම් කියපු කෙනාට කරන්න තිබ්බේ මගේ පොටෝ එකක් එක්ක කතාව ගොතලා සෝෂල් මීඩියා වල දාන එක, එතකොට අපේ ඉන්න සෝෂල් මීඩියා වීරයෝ ටික මාව වල දාලත් තියෙයි මේ වෙනකොට.

ඒක නිසා කාගේ කවුරු වුනත් සෝෂල් මීඩියා වල හම ගහන්න කලින් ඇත්ත නැත්ත පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා. නැත්තන් ඔයා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කොන්ද පණ නැති, ඉරිසියාකර, පොද්ගලික කෝන්තර පිරිමහගන්න හදන කෙනෙක්ට සහය දෙනවා වෙන්න පුලුවන්.