පහුගිය දවස් කිහිපයේ මගේ හිත ආසාවෙන් පුරවපු මායාකාරම පින්තූරයක් තමයි ඔය උඩම තියෙන්නේ. ඕක දැකපු වෙලාවේ ඉදලම මොනා හරි ලියන්න ඕනි කියල හිත හිත හිටියට අද තමයි පොඩි වෙලාවක් හම්බවුනේ ඒකට. ඔයිට අමතරව මුණු පොතේ ගිය වීඩියෝ, රීල් දකිනකොට ඈත දුර රටක සීත ඍතුව ගෙවන මගේ හිත හීනියට උණුසුම් වුනා කැම්පස් එකේ ලස්සන අතීත කතා මතක් වෙලා.
අපේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නමුණුකුල ඕපන් එයා තියටර් එක, එහෙමත් නැත්තන් අපේ වචනයෙන් කියනවානන් "වල" විවෘත කරපු දිනයක ගත්ත පින්තූරයක් මේක. මේක දැක්කම මම දන්නවා මම වගේම, කැම්පස් එකේ හිටපු හැම කෙනෙක්ටම හිතෙන දෙයක් තමයි අනේ මමත් අද එතන හිටියනන් කියලා. එහෙම හිටියනන් අපිට කොච්චර දේවල් කරන්න තිබ්බද, මුකුත්ම නැත්තන් ඔය වලේ කොනකට වෙලා මේ වගේම මායාකාර හවස්වරුවක යාලුවොත් එක්ක පොඩ්ඩක් කියව කියවා හරි ඉන්න තිබ්බ නේද කියලා අතීත මතක ඔක්කොම ටික හරි අපූරුවට අවුස්සලා අරගන්න මේ වගේ පින්තූරෙකට පුලුවන්.
මම අපේ කැම්පස් එකේ තුන් වෙනි කණ්ඩායමේ, සහ අපේ ඩිග්‍රි එකේ පලවෙනි කණ්ඩායමේ. ඉතින් ඉස්සර ගොඩක් අය අපේ කැම්පස් එක දන්නේ නැහැ, ඌව වෙල්ලස්සේ කියුවම හැමෝම අහන්නේ ආ ඔය සබරගමු කැම්පස් එකද කියලා. එතකොට ඉතින් මුල ඉදලම කැම්පස් එක ගැන පොටෝ පෙන්නලා විස්තර කරන එක මගේ ඉස්සර පුරුද්දක්. ඩිග්‍රි එකේ අන්තිම අවුරුද්දේ ඉන්ටර්න් කරන්න මම Millenium IT එහෙම නැත්තන් දැන් LSEG කියන කොම්පැනි එකට මාව තේරුනා. ඒ කාලෙත් ඔය විදියටම කැම්පස් ගැන මම ඔෆිස් එකේ හැමෝටම කියනවා. පස්සේ මම ඉන්ටර්න් එකෙන් අයින්වෙලා ස්තීර රැකියාවකට මාරු වුනාට පස්සේ දවසක මගේ ඉන්ටර්න් බාර හිටපු ප්‍රධානියා මට කෝල් කරල ඇහුවා මට ඔයාගේ කැම්පස් එකේ තව ඉන්ටර්න් කරන්න කෙනෙක් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්ද, මොකද මම ඔයාගේ යුනි එකෙන් ඔයාට දීලා තිබ්බ qualities වලට හරිම කැමතියි කියලා. එදානන් ඉතින් දැනුන සතුට කියන්න වචන නැහැ. වැඩිය නැහැ ඉතින් මම මගේ කැම්පස් එක වෙනුවෙන් කරන්න තිබ්බ පොඩිම පොඩි දෙයක් හරි මට කරන්න පුලුවන් උපරිම කලා කියලා සතුටින් පිපිරි පිපිරි හිටියා.
2005 අවුරුද්දේ පටන්ගත්ත අපේ කැම්පස් එක 2025 වෙනකොට තියෙන තැන, ලස්සන වෙලා තියෙන විදිය දැක්කම සහ මිනිස්සු ඔයා ගැන කතා කරන විදිය දැක්කම පුදුම සතුටක් දැනෙන්නේ. මොකද මම වගේම, අපේ කැම්පස් එකේ හිටපු හැම කෙනෙක්ගෙම හීනයක් ඒක. අපේ පලවෙනි බැච් එකේ ඉදලා, පලවෙනි උපකුලපතිතුමා, ලෙක්චරස්ලා, අපිව හොස්ටල් වල බලාගන්න හිටපු ආන්ටිලා, සෙකියුරිටි අන්කල්ලා ඇතුලු හැම කෙනෙකුම මේ ලස්සන හීනේ සම අයිතිකරුවන් කියලයි මට හිත්න්නේ.
මගේ අද දවසේ ප්‍රර්ථනයනන් ඉක්මනටම දවසක මගේ ප්‍රාණසම යාලුවොත් එක්ක ඔයාව බලන්න යන්න ලැබෙන්න කියලා, ඒකත් නිසිකල නිසි අයුරට වෙයි කියලා මට විශ්වාසයි.
ඉතින් ආදරණීය සරසවිය, මගේ ජීවිතේ සතුටින්ම පිරුන ලස්සනම ලස්සන අවුරුදු හතරට ගොඩාක් ස්තූතියි. ඉදිරියටත් සුවහසක් දුවා දරුවන්ගේ මතක පොත් සතුටින් පුරවන්නට, තව තවත් මායාකාර වන්නට ඔබට ශක්තිය ලැබේවා!
No comments:
Post a Comment